Saturday, May 26, 2012

ගුරුතුමා වෙත...


මගේ පුතා හෙට දින පාසැල් ජීවිතය ආරම්භ කරනු ඇත. එය ඔහුට නැවුම් අත්දැකීමක් වනු ඇත. ඔහුගේ ජීවිතය මහද්වීප හරහා කෙරෙන සංචාරයක් වේවි. ඒ සෑම සංචාරයක් තුළම යුද්ධය, විනාශය සහ සංවේගය සැරි සරාවි. ඉතිං ඔහුගේ මේ ජීවිතය ගත කිරීමට විශ්වාසය, ආදරය සහ උනන්දුව අවශ්‍යය වේවි.

ඉතිං දයාබර ගුරුතුමණි, ඔහුගේ සුරතින් අල්ලා ගෙන ඔහු දැනගත යුතු දේ කියා දෙන්න.

ඔහුට කියා දෙන්න, සෑම සතුරෙකු හටම මිතුරෙකු ඇති බව. ඔහු දැනගත යුතුයි සෑම අයෙකුම නීතිගරුක නැති අතර සෑම අයෙකුම සත්‍යවාදී නොවන බව. ඒත් ඔහුට කියා දෙන්න සෑම නපුරු අයෙකුට එරෙහිව වීරයෙකු ඇති බව සහ සෑම වංචාකාර දේශපාලඥයෙකුට එරෙහිව රට වෙනුවෙන් කැපවුණු නායකයෙකු ඇති බව.

මම දන්නවා, මේ දේ උගන්වන්න ඔබට කාලයක් යාවි. ඒත් ඔහුට කියා දෙන්න දාඩිය මහන්සියෙන් උපයන ඩොලර් එකක වටිණාකම නිකන් ලැබෙන ඩොලර් 5ට වඩා වටිණා බව.

ඔහුට කියා දෙන්න පරාජය දරා ගන්නා අන්ඳම, ඒ වගේම ජයග්‍රහණයේදී ජයඝෝශා නඟනායුරු.

ඔබට හැකිනම් කියා දෙන්න පොත් කියවීම තුළින් අත් විඳිය හැකි පුදුම සහගත බව, ඒ වගේම ඔහුට ටික වේලාවක් ලබා දෙන්න ඈත අහසේ නිදහසේ පියාසරන කුරුල්ලන් දෙස අවධානය යොමු කරන්නට, ඉර එළියේ හමායන සුළඟ අත් විඳින්නට, ලා නිල්ලේ ඇති සුන්ඳර මල් ගොමුවල ඇති සුන්ඳරත්වය අත් විඳින්නට.

ඔහුට පාසැලේදී කියා දෙන්න වංචාවෙන් සමත් වෙනවාට වඩා අවංකව අසමත් වීම උසස් බව.

ඔහුට කියා දෙන්න මුළු ලොවම ඔහු වැරදි යැයි හඬ නැඟූවද ඔහුගේම අදහස් මත විශ්වාසය තබන්නට.

ඔහුට කියා දෙන්න, සොඳුරු මිනිසුන් හා සොඳුරුව ජීවත් වන්නට සහ රළු මිනිසුන් හා රළුව ජීවත් වන්නට.

ඔහුට කියා දෙන්න, සෑම අයකුටම සවන් දෙන්නට. ඒ වගේම ඇසෙන සියල්ලෙන් සත්‍යය පමණක් පෙරා වෙන්කර ගන්නට.

ඔබට හැකිනම් කියා දෙන්න, දුකේදිත් සිනාවෙන් ගත කරන්නට හා කඳුලු සැලීම ලැජ්ජාවට කරුණක් නොවනා බව.

ඔහුට කියා දෙන්න ඔහුගේ ශ්‍රමයට සහ දැනුමට මිළක් නියම කිරීමට, නමුත් කිසි විටෙකත් ඔහුගේ හදවතට මිළක් ලකුණු නොකිරීමට.

ඔහුට කාරුණිකව සලකන්න, නමුත් කිසි විටෙකවත් හුරතල් නොකරන්න. මන්ද හොඳ යකඩයක් බිහි වනුයේ ගිනිදැල් තුළින් පමණක්ම නිසා.

මේක ඔබට දෙන ලොකු විධානයක්. නමුත් ඔබට කලහැකි උපරිමය සිදු කරන්න. ඔහු ඇත්තටම හොඳ හාදයෙක්, ඔව් මගේ පුතා.
මීට,
ඒබ්‍රහම් ලින්කන්

No comments:

Post a Comment