Monday, May 28, 2012

රුවන්මැලි මහා සෑය


අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගිය අතර නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1873 දී පමණ එළිපෙහෙළි විය. 1873 දී රුවන්මැලි මහා සෑය සොයාගත් අවස්ථාවේ දිස්වූ අයුරු සහ අද වන විට දිස්වෙන අයුරු.

පහතින් දැක්වෙන්නේ රුවන්මැලි මහා සෑය ගොඩ නැඟීම ගැන කතාවයි.

දුටුගැමුණු නිරිඳුන් නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියන්නට ලැබුණේ ය. එහි සඳහන් වූයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිබෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍ය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.

“මම් වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ! එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදුවලින් නො පෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි” සිතමින් සිටියේ ය.

එකල්හි මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව එකරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථූපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ “එම්බා දිව්‍ය පුත්‍රය, ගෞතම සසුනෙහි පහන් ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි” පවසා සිටියේ ය.

පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගැඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්තප්‍රසාදයක් ඇති වූයේ ය. එමෙන් ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තන්හි ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහු ය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප්‍රමාණ වූවාහු ය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියලු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.

අනුරපුරෙන් නැගෙනහිර දිශායෙහි සත්යොදුනක් ගිය තන්හි මහවැලි ගඟෙන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහාසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතට යොදුනක් ගිය තන්හි සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තන්හි අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස්යොදුනක් ගිය තන්හි උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලු ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය.

අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල වූ දියබෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියලු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වූයේ ය.

No comments:

Post a Comment