Monday, July 2, 2012
සුපිරි තරුවක ප්‍රභාෂ්වරය
තමා රඟපෑ මුල්ම චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී තවත් චිත්‍රපට 17 කට ගිවිසුම් අස්සන් කළ, එසේම එම චිත්‍රපටය තිරගත වෙද්දී චිත්‍රපට 24 ක රඟපාමින් සිටි නළුවකු සිංහල සිනමාවේ වෙත් නම් ඔහු එමඟින් පිහිටුවා ඇත්තේ සුවිශේෂී වාර්තාවක් බව අමුතුවෙන්ම කිව යුතුද? එම වාර්තාව පිහිට වූ නළුවා අන් කවරකුවත් නොව විජය කුමාරතුංගය.
විජය මුලින්ම රඟපෑ චිත්‍රපටය වූයේ ‘හන්තානේ කතාව’ය. මෙම සිනමාපටයෙන් දොරට වැඩි කලාකරුවන් ගණනාවකි. විජය මෙන්ම ආචාර්ය ධර්මසේන පතිරාජ, විජය ධර්ම ශ්‍රී, දයා තෙන්නකෝන්, බර්ටි ගුණසේකර, බර්ටි ජයසේකර, සෝමපාල ලැනරෝල්, සමන්ති ලැනරෝල් ඒ අතර වෙති.
1945 දී සීදුවේ උපන් විජයගේ මුල් නම වූයේ කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංගය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොටහේන ශාන්ත බෙනඩික්ට් හා කඳානේ ඩි මැසනඩ් යන විදුහල් වෙතිනි.
‘හන්තානේ කතාව’ට සම්බන්ධ වන්ට පෙර විජය (1965 දී පමණ) සෙරන්ඩිබ් කලායතනයෙන් රංගනය පිළිබඳ පුහුණුවක් ලද්දේය. ‘හන්තානේ කතාවේ’ රඟපෑමට පෙර ඔහු ‘මනමාලයෝ’ චිත්‍රපටයේ සුළු ජවනිකාවකට ද පෙනී සිට ඇත.
‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ විජය රඟපෑවේ කෙළිලොල් විශ්ව විද්‍යාල සිසුවකුගේ චරිතයකි. විජය සැබෑ ජීවිතයේ සරසවි සිසුවෙක් නොවූයේය. එහෙයින් විශ්ව විද්‍යාල සංස්කෘතිය පිළිබඳ කිසිදු පූර්ව අවබෝධයක් ඔහුට නොතිබිණි. එසේ වුවත් විජය මෙහි රඟපෑවේ පළපුරුදු සරසවි සිසුවකු පරිද්දෙනි. ‘හන්තානේ කතාවෙන්’ විජය හැටේ දශකයේ සිටි ‘වාසිටි කොල්ලා’ මැනවින් මූර්තිමත් කළා යැයි මම සිතමි.
හැත්තෑව දශකයේ තාරුණ්‍යයේ එසේත් නැත්නම් ප්‍රේමයේ සිනමා සංකේතය වූයේ විජයයි. ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඩෙන්සිල් පීරිස් වරක් විජය හඳුන්වා සිටියේ ‘මෙන්න හැත්තෑව දශකයේ සිංහල පෙම්වතා’ කියාය.
තමා රඟපෑ මුල්ම චිත්‍රපටයෙන්ම විජය කුසලතා සපිරි නළුවකු බව ප්‍රකට කර සිටියේය. එහෙත් වාණිජ සිනමාව විසින් ඔහු ගොදුරු කර ගැනීමේ විපාක ඵල වශයෙන් ඔහුට සිදු වූයේ තම රංගන හැකියාව බොළඳ පෙම්වතාගේ චරිතයට පමණක් සීමා කර තැබීමකි. එසේ වුවත් විජයගේ එක් සාධණීය ලක්ෂණයක් වූයේ ඔහු තමන්ටම ආවේණික වූ ඉතාම සුන්දර රංග ශෛලියක් මේ වාණිජ චිත්‍රපට රංගනයේදී පවත්වාගෙන යෑමකි. ඔහු වැඩි වශයෙන්ම රඟපෑවේ හින්දි හෝ දෙමළ අනුකාරක චිත්‍රපටවල වුව එම චිත්‍රපටවල නළුවන් අනුකරණය නොකළේ මේ ස්වාධීන රංග රටාවේ මහිමය නිසාය. එය ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව දිනා ගත්තේය.
විජය වාණිජ සිනමාවට ප්‍රවිෂ්ටවීමත් සමඟම ඒ වන විට කිසියම් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටි නළුවන් නන්නත්තාර වූ බවක් පෙනී යයි. ඉනික්බිතිව ඔවුන්ට පැවැත්මක් නොතිබිණි. රෝයි ද සිල්වා, ඔස්වල්ඩ් ජයසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර මේ අවදානමට ලක් වූ ප්‍රකට නළුවන් තිදෙනෙකි. මේ නළුවන් ඉක්මවා ගිය ප්‍රබල තිර පෞරුෂයක් (SCREEN PRRSONALITY) විජයට තිබිණි.
‘හතර දෙනාම සූරයෝ’ වැනි චිත්‍රපටයකින් විජය ජනප්‍රිය වුණත් එහි ප්‍රධාන නළුවා වූයේ මහා නළු ගාමිණී ෆොන්සේකාය. එහෙයින් විජය ‘තරුවක්’ බවට පත් වූයේ ‘තුෂාරා’ චිත්‍රපටයෙන් බැව් කීම වඩාත් නිවැරදිය.
ගාමිණි – මාලිනී යුගයක් සේම විජය – මාලිනී යුගයක් ද එකල බිහි වූයේය. ඔවුන් දෙදෙනා රඟපෑ චිත්‍රපට බොක්ස් ඔෆිසියේ ඉහළම සාර්ථකත්වයක් අත්පත් කර ගත්තේය. ගාමිණී ෆොන්සේකාගෙන් පසු කිසියම් නළුවකු ඉහළම ජනප්‍රියත්වය දිනා ගත්තේ නම් ඒ විජය ය. ගාමිණීගෙන් පසු සිංහල සිනමාවේ ජනප්‍රිය කිරුළ හිමි වූයේ ඔහුටය. විජය හය වතාවත් ‘සරසවිය’ සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා වූයේය. විජය දේශපාලනයට වෙත අවතීර්ණ වූයේ ද ඒ අසාමාන්‍ය ජනකාන්තභාවය ඔස්සේය.
ගාමිණීට මෙන්ම විජයට ද තමන් රඟපාන චිත්‍රපට සඳහා පුනරාගත ප්‍රේක්ෂක පිරිසක් (REPEAT AUDIENCE) සිටියහ. විජයට ජනප්‍රිය නළු කිරුළ අත්පත් කර දෙනු ලැබුවේ එම රසික පිරිස විසිනි.
විජය චරිතාංග නළුවකු බව වඩාත් තහවුරු කළේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ සිනමාපටවලිනි. ඇත්තටම පතිරාජගේ සිනමාවේ ප්‍රධාන රංග ප්‍රකාශයා වූයේ ද විජය යැයි කිව හැකිය. පතිරාජගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වූ ‘අහස් ගව්වේ’ විජය රඟපෑවේ මහතුන් නම් වූ බාර් කීපර් වරයකුගේ චරිතයකි. අප්‍රධාන චරිතයක් වුව විජය එමඟින් මුහුකුරා ගිය රංගනයක් ඉදිරිපත් කළේය.
‘අහස් ගව්වේ’ රඟපෑම් සඳහා විජයට 1975 වසරේ පැවති හත් වැනි විචාරක සම්මාන උළෙලේදී කුසලතා සහතිකයක් පිරිනැමිණ. එය විජය ලත් ප්‍රථම සම්මානය විය. එම සම්මාන හේතු පාඨයේ මෙසේ කියැවිණි.
‘ජනපි‍්‍රය නළුවකු වශයෙන් මෙතෙක් රඟපා ඇති වර්ග චරිතවලට වෙනස් අයුරින් රංගනයෙහිලා ප්‍රකට කර ඇති සංයමයත්, උදාරත්වයත් හේතු කොට ගෙන මෙම සහතිකය පිරිනැමේ.’
‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ විජයගේ රංගනය සුවිශේෂ නොවූවත් ඔහු ඒ චරිතය තුළ ඉතා සංයමයෙන් යුක්තව හැසිරෙන්ට ගත් උත්සාහය ප්‍රමාණවත්ය.
‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ විජය රඟපෑවේ ප්‍රතිවීර (ANTI – HERO) චරිතයකි. මෙහි සැබෑ පෙම්වතා වූයේ සිරිල් (සිරිල් වික්‍රමගේ) ය. එසේ වුවත් ප්‍රේක්ෂකයන් වඩාත් ලොල් වූයේ ද ඔහුට නොව විජයටය. විජය දුෂ්ටයකු ලෙස පිළිගැනීමට රසිකයන් මැලි වූවා සේය. එයින් අධ්‍යක්ෂ පතිරාජ අපේක්ෂා කළ අරමුණ ඉටු විණි ද නොඑසේ නම් බිඳ වැටිණි ද යන්න ගැටලුවකි.
මගේ පෞද්ගලික පිළිගැනීමට අනුව විජයගේ විශිෂ්ටතම චරිතාංග නිරූපණය දක්නට ලැබෙන්නේ ‘පාර දිගේ’ චිත්‍රපටයේය. ඔහු එහි ‘චන්දරේ’ නම් වූ පිටස්තරයාගේ චරිතයට පණ පොවයි. මෙබඳු අසම්මත චරිතයක් සිංහල චිත්‍රපටයක නිරූපණය වූ පළමු අවස්ථාව එය විය. එහෙයින් එවැනි චරිතයක් නිරූපණය කිරීමට විජයට කිසිදු පූර්වාදර්ශයක් ද නොතිබිණි. ඒ නොතිබීම හේතු කොට ගෙනම ‘චන්දරේ’ ගේ චරිතය විජයට ප්‍රබල අභියෝගයක් වූ බවට නිසැකය. එසේ වුවත් විජය මේ චරිතයේ සුවිශේෂතා ඥානාන්විතව වටහා ගනිමින් එය උසස්ම ආකාරයට නිරූපණය කළ බව කිව යුතුය. මෙබඳු චරිතයක් සිංහල සිනමාවේ වෙනත් කිසිදු නළුවකුට එතරම් සාර්ථකව නිරූපණය කළ හැකි වෙතැයි මම නොසිතමි. චන්දරේ ගේ චරිතයට විජය හැරුණු කොට වෙනත් ආදේශකයක් නැති බව අධ්‍යක්ෂ පතිරාජම වරක් ප්‍රකාශ කර ඇත.
පතිරාජගේ චිත්‍රපටවල හැරුණු කොට විජය කුසලතා පූර්ණ රංගනයක් ඉදිරිපත් කළේ වසන්ත ඔබේසේකරගේ හා ආචාර්ය තිස්ස අබේසේකරගේ චිත්‍රපටවලය.
වසන්තගේ ‘දියමන්ති’ චිත්‍රපටයේ විජය රඟපෑවේ රැකියා නොමැති උපාධිධාරියකුගේ භූමිකාවකි. ඔහු මෙබඳුම චරිතයක් එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘සිකුරුලියා’ චිත්‍රපටයේ ද රඟපෑ අයුරු අපට මතකය.
වසන්තගේ ‘කැඩපතක ඡායා’ චිත්‍රපටයේ විජයගේ චරිතාංග නිරූපණය අග්‍රගණ්‍යය. ඉතාම මුහුකුරා ගිය රංගනයක් ඔහු එමඟින් ප්‍රකට කරයි.
ආචාර්ය තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේදී විජය විලිසොංගේ චරිතයට සාධාරණය ඉටු කළේය. තිස්සගේම ‘මහගෙදර’ චිත්‍රපටයේ විජයගේ රංගනය වඩාත් විස්තීර්ණ වූයේ යැයි මම සිතමි. බැලූ බැල්මට සරල වුවත් එය සංකීර්ණ චරිතයකි. එහිදී ද විජය එම චරිතය උපරිම අයුරින් රංගනය කළේය.
ඒ හැරුණු කොට ‘මරුවා සමඟ වාසේ’, ‘පොඩි මල්ලි’, ‘මධු සමය’ විජයගේ සාර්ථක රඟපෑම් ඇතුළත් වූ තවත් චිත්‍රපට කීපයකි. එසේ වුවත් ඉතාම අවාසනාවන්ත කරුණ වන්නේ විජයගේ මේ චරිතාංග නිරූපණ කිසිවක් අපේ විචාරක ඇගැයීමට ලක් නොවීමයි. ඒ සඳහා විජය අනුදුටු දේශපාලනය ද බලපෑවා විය හැකිය.
මානව හිතවාදියකු ලෙස ජනතා අභිනන්දනයට පාත්‍ර වූ විජය කුමාරතුංග 1988 පෙබරවාරි මස 16 වැනි දින ඝාතනය කෙරිණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment