three-woman-ghostඑය අලව්ව ප්‍රදේශයේ සුසාන
භූමියකි. එහි හොල්මන් අවතාර ඇති බවට ප්‍රසිද්ධ ය. එනිසා රාත්‍රී ඇඳිරි වැටුණු පසු තනිපංගලමේ
ඒ අද්දර පාරෙන් ගමන් කිරීමට පවා බොහෝ දෙනෙක් බිය වෙති. ඒ හොල්මන් අවතාර අතුරින් ප්‍රධාන
අවතාරයක් ද විය.
ඒ දරුවකු කර පින්නාගත් තරුණ ගැහැනියක ගේ අද්භූත රුවකි. ඇය
ඒ මග ඔස්සේ තනිව ගමන් කරන පිරිමින් ඉදිරියට පැමිණෙන පුවත ප්‍රදේශය පුරා පැතිර තිබිණ.
ඒ මෝහිනී අවතාරය බව කාගේත් පොදු පිළිගැනීම විය.
දිනක් ඒ ප්‍රදේශවාසියෙක් රාත්‍රී හතට පමණ එම සොහොන් පළ අද්දරින්
තම නිවස බලා යමින් සිටියේ ය. හාත්පස කිසිවෙක් ද දක්නට නොවූහ. එකවරම පාරේ එහා කොනින්
මතුවන කුඩා දරුවකු කරපින්නා ගත් ගැහැනියක ප්‍රදේශවාසියා ගේ නෙත ගැටිණ. ඔහුට දෙවියන්
සිහි විය. වහා ඒ පාරෙන් ඉවතට පැන ගත් ඔහු බියෙන් ගැහෙමින් වෙනත් අතුරු මගක් ඔස්සේ ගෙදරට
දිව ගියේ ය.
‘මොකද පුතේ කලබලෙන් වගේ දරුවට අමාරුද?’ ඔහු දුටු සැනින් නිවසේ සිටි ඔහුගේ මව නොඉවසිල්ලෙන් ඇසුවා ය.
“මොන දරුවටද?” මවගේ පැනයෙන් කිසිත් වටහාගත නොහැකි වූ
ප්‍රදේශවාසියා ඇසීය.
“අනේ පුතේ; පොඩි එකාට උණ වැඩිවෙලා. කෙල්ල ඒකාව දොස්තර
ළඟට අරන් ගියානේ. ඇයි මගදී හම්බුවුණේ නැද්ද?” ඔහුගේ මව ඇසුවා
ය.
මෙය අලව්ව ප්‍රාදේශීය මාධ්‍යවේදී ඒ කීර්තිසිංහ විසින් වාර්තා
කරන ලද පුවතකි.
මෙම කතා ප්‍රවෘත්තිය මගේ නෙත ගැටුණේ 2011 සැප්තැම්බර් 19
දින ‘දිනමිණ’ අන්තර්ජාල පුවත්පතෙනි.
‘මෝහිනී’ යන නම අප රටේ බාල, තරුණ, මහලු සැමට එක සේ හුරු පුරුදු ය. ඇගේ මෙම
ජනප්‍රියත්වය කොතෙක් ද යත් අද “මෝහිනී චරිතය” රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට පවා එක්වී
තිබේ. එහෙත් මෝහිනිය යනු කවුරුන්දැයි තවමත් බොහෝ දෙනකු හරි හැටි දන්නා බවක් නොපෙනෙයි.
whith-dress-ghost-1
මෝහිනී සංකල්පය අප රටට පැමිණ ඇත්තේ භාරතයෙනි. භාරතීය විශ්වාසයනට
අනුව මෝහිනී යනු විෂ්ණු දෙවිඳුන්ගේ උප අවතාරයකි. පැරණි වෛදික ග්‍රන්ථවල සඳහන් වන අන්දමට
විෂ්ණු දෙවිඳුන් අවස්ථා කිහිපයකදීම මෝහිනී වේෂයෙන් පෙනී සිට තිබේ. ඒ ලෝකය අධර්මයෙන්
ගලවා ධර්මානුකූල කරවනු පිණිස ය. ඉන් රසවත්ම සිදුවීම විෂ්ණු දෙවිඳුන් මෝහිනී ලෙසින්
පෙනී සිට භෂ්ම නම් අසුරයා අළුකර දැමීම ය.
අප රටේ ද ප්‍රචලිත භෂ්ම අසුරයාගේ කතාවක් තිබේ. නමුත් මේ කතාව
ඊට තරමක් වෙනස් ය. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම ප්‍රචලිත එම මෝහිනී භෂ්මාවසුර කතා ප්‍රවෘත්තිය
සැකෙවින් මෙලෙසිනි.
භෂ්ම නම් අසුරයකු (අසුරයන් යනු යක්ෂ ගණයට අයත් දෙවියන්ට සතුරු
සේනාවකි) ඉතා උපායශීලීව ශිව දෙවිඳුන්ගෙන් එක්තරා දැහැනක් හෙවත් මන්ත්‍රයක් ලබා ගනී.
එය අත්ලට මතුරා කිසිවකුගේ හිස මත අත තැබුවහොත් ඒ තැනැත්තා එසැනින් දැවී අළු වී යයි.
ශිව දෙවියන් වෙතින් මේ බලගතු මන්ත්‍රය ලබා ගන්නා භෂ්ම අසුරයා එම මන්ත්‍රය තම අත්ලට
මතුරා එය පළමුව දිගු කරනුයේ ශිව දෙවියන් දෙසට ය. ඒ එහි සත්‍යතාව මැන බැලීමට අවශ්‍ය
බව අඟවමිනි. ශිව දෙවියන්ට තමන් කළ මෝඩකම සිහිපත් වනුයේ එවිට ය. එබැවින් අන් කළ හැකි
කිසිවක් නොමැති බැවින් හෙතෙම පස්ස නොබලා දුවන්නට පටන් ගනී. ඒ සමගම භෂ්ම අසුරයා ද දිගු
කරගත් අතින් යුතුවම ශිව දෙවිඳුන් ලුහුබඳින්නට පටන් ගනී. ඒ තම අරමුණ ඉටුකරගනු පිණිස
ය.
මෙසේ දුවන අතරේ ශිව දෙවිඳුන්ට විෂ්ණු දෙවියන් මුණගැසෙයි.
ශිව දෙවියන් තමන්ට සිදුවන්නට යන විපත විෂ්ණු දෙවියන් හමුවේ සැලකරනුයේ අසුරයා තමන් වෙත
ශීඝ්‍රයෙන් ළංවෙන අතරේ ය. එවිට ශිව දෙවියන්ට රූස්ස ගසකට මුවාවන සේ පවසන විෂ්ණු දෙවියන්
කරනුයේ කුමක්ද? භෂ්ම අසුරයා දිව එන පෙර මගට පිවිසීම ය.
ඒ මන මෝහිනීය රංගනයක යෙදෙන අතිශය සුරුපී ‘මෝහිනී’ සුරූපිනිය
හෙවත් මෝහිනී අවතාරය ලෙසිනි. ශිව දෙවියන් ලුහුබැඳ යන භෂ්ම අසුරයා මෙම මෝහිනිය දැක ඇගේ
රූපයෙන් සහ රංගනයෙන් මෝහනයට පත්වේ.
“මට ඔබ හා සහවාසය කිරීමට ඕනෑ” යැයි භෂ්ම අසුරයා කියයි. මා
අනුව යමින් මා ලෙසින්ම රංගනයේ යෙදිය හැකි නම් ඔබට ඒ අවස්ථාව හිමිවනු ඇත. එවිට මෝහිනී
කියන්නීය. ඒ අනුව මෝහිනියගේ හස්ත මුද්‍රාදිය දෙස බලමින් මෝහනයට පත් භෂ්ම ඒ අයුරින්ම
අත් පා ලෙලවමින් රංගනයේ යෙදෙන්නේ මුළු ලොවම අමතක කරමිනි. ඒ අතරේ භෂ්ම අසුරයාට පෙනෙන
සේ වරක් මෝහිනිය සිය රංගනයේ එක් මුද්‍රාවක් සේ තම අත්ල හිසෙහි තබා ගන්නීය.
ඒ වන විට මෝහිනීගේ රංගනයෙන් මෝහනයට පත් භෂ්ම අසුරයාට තමන්ගේ
අතට මතුරා ඇති වග ද අමතක වී හමාරය. එබැවින් මෝහිනියගේ එම හස්ත මුද්‍රාව අනුගමනය කරනු
වස් භෂ්ම අසුරයා තම අත්ල හිස තබා ගත්තා පමණි. ඒ සමගම එහි භෂ්ම අසුරයා වෙනුවට ශේෂ වනුයේ
ඔහුගේ භෂ්මාවශේෂ පමණි. (භෂ්ම අසුර ට ඒ නම ලැබුණේද එම සිදුවීමෙන් පසුව යැයි පැවැසෙයි)
මෙම මෝහිනී-භෂ්මාසුර රංගනය අදත් ඉන්දියාවේ උත්තර සහ දක්ෂිණ
කන්නාඩ ඇතුළු බොහෝ ප්‍රදේශවල අතිශය ජනප්‍රිය ජන නර්තනාංගයකි. යක්ෂාගන යනු ඉන්දියාවේ
ප්‍රචලිත ජන සංස්කෘතිකාංගයකි. එය අප රටේ කොහොඹා කංකාරිය, දහඅට සන්නිය, ගම්මඩු ශාන්ති කර්ම ආදියට සමාන ය.
යක්ෂාගන ඉහත සඳහන් ප්‍රදේශවල රැයක් පහන්වනතුරුම පැවැතෙන අභිචාරාත්මක ශාන්ති කර්මයකි.
මෙහිදී ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම ද නොවරදවාම සිදුවෙයි.
මෙහිදී අප රටේ සම්ප්‍රදායික ශාන්ති කර්මවලදී මෙන් මෝහිනී චරිතයට රඟ දෙන්නේ ද පිරිමියකුම
ය.
අපගේ සිංහල අලුත් අවුරුද්ද හා අතිශයින් සමාන ජ්‍යොතිෂය මත
පදනම් වන උත්සවයක් දකුණු ඉන්දියාවේ කර්නාටක, මහා රාෂ්ඨ සහ ආන්ද්‍රා යන ප්‍රදේශවලද
පැවැත්වෙයි. එය හැඳින්වනුයේ ‘උගාදි’ යනුවෙනි. එහි අරුත යුගාරම්භය යන්න ය. මෙම උගාදි
උත්සවලදී ද මෙම මෝහිනී භෂ්මාසුර රංගනය නොවදරවාම කළඑළි දකී.
එමෙන්ම දැන් එම නර්තනයේදී මෝහිනිය වෙනුවෙන් නර්තනය මනාව ප්‍රගුණ
කළ සුරූපී තරුණියක් ඉදිරිපත් වේ. භෂ්මාසුර චරිතය නිරූපණය කරනුයේ ද නර්තන කලාවෙහි මනා
ප්‍රවීණත්වයක් සහිත ‘හොඳ වැඩ කාරයෙකු’ විසිනි. කෙසේ හෝ මෙම නර්තනයේදී මෝහිනී සහ භෂ්මාසුර
තරගකාරී අයුරින් හරි හරියට තම ශිල්පීය සමත්කම් දක්වනු මහත් උනන්දුවෙන් බලා හිඳින නරඹන්නෝ
අවසානයේ මෝහිනිය අනුකරණය කරමින් තම අත්ල හිසේ තබා ගන්නා භෂ්ම අසුරයා ගින්නෙන් දැවෙන
අවස්ථාවේ දී ඔල්වරසන් හඬ නගති.
භෂ්ම ගින්නට හසුවීම සජීවී ලෙස ඉදිරිපත් කරනු පිණිස දැන් දැන්
නවීන ආලෝකකරණ ක්‍රමයද යොදා ගැනෙයි. ශ්‍රී ලාංකික අපට තවමත් එතරම් හුරු නොමැති මෙම මෝහිනී
භෂ්මාසුර රංගනය ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල පාසල් විවිධ ප්‍රසංගවලදී පවා නිතර කළ එළිදකින්නකි.
ඉන්දියාව නියෝජනය කරමින් යුරෝපා ඇමෙරිකාදී රටවල පවා මෙම රංගනය වේදිකාගත ගත කොට තිබේ.
අප නව යොවුන් වියට පත්වීමත් සමග අපගේ වැඩිහිටියෝ අපට සවස
හයෙන් පසු බටනලාවක් අතින් ඇල්ලීමටවත් නොදුන්හ. ඒ රාත්‍රී කාලයේ බට නලා වයන විට මෝහිනී
අප වෙත ඇදී එතැයි පැවැති ජන විශ්වාසයකට අනුව ය.
එම විශ්වාසයට අනුව නව යෞවනය ඉක්ම වූ තරුණයකු රාත්‍රියේ තනිව
බටනලාවක් වාදනය කළොත් ඒ හඬට වශී වන මෝහිනිය ඔහු සොයා පැමිණ ඒ වාදනයට අනුව රඟන්නට පටන්
ගනී. ඇගේ මෙම මන මෝහනීය රැඟුම තරුණයාට ද පෙනෙයි. එහෙත් මෝහිනිය රැඟුම් පාන අතරේ ඔහුට
තම බටනලා වාදනය නතර කළ නොහැක. ඒ එවිට ඉන් කෝපයට පත්වන මෝහිනිය ඔහු ගොදුරු කර ගන්නා
බැවිනි. ඒ අනුව එම තරුණයාට ඇති එකම විකල්පය පසුදා අලුයම කුකුළා හඬලන තෙක් එක දිගටම
බටනලාව වයමින් මෝහිනිය රසවත් කිරීම ය. කුකුළා හඬලත්ම මෝහිනිය අතුරුදන් වෙයි.
එහෙත්, ඉහත සඳහන් ‘දිනමිණ’ පුවතට අදාළ මෝහිනිය
එලෙස රැඟුම් පාන්නියක් නොවේ. රාත්‍රී යාමයේ තනි පංගලමේ ගමන් බිමන් යන පිරිමින් හමුවට
කුඩා දරුවකුද අතැතිව පැමිණෙන්නියකි. එසේ පැමිණෙන ඇය එම පිරිමියාගෙන් ඉල්ලීමක් කරයි.
එනම් තමා හැඳි වත සරිකරගන්නා තුරු එම දරුවා මඳකට වඩා ගන්නා ලෙස ය. එවිට ඒ අවස්ථාවට
මුහුණ දෙන්නා ඊට සරිලන වෙනස් උපායකින් මෝහිනිය රවටමින් ජනාවාසයක් වෙත සේන්දු විය යුතුය.
එසේ නොමැතිව මෝහිනියගේ බසට නතු වී ඇගේ දරුවා සියතට ගතහොත් ඒ තැනැත්තා මෝහිනියගේ ග්‍රහණයට
නතුවෙයි.
මේ අතර රාත්‍රී කාලයේ තනිව වාහන පදවන රියැදුරන්ට පෙනෙන සේ
විවිධ ස්ථානවල සිට අත දිගු කරන සුදු හැඳගත් කාන්තාවක ගැන ද අසන්නට ලැබේ. එම කාන්තාව
තමන් ඉදිරියේ නතර වූ රථයෙන් ගමන් අවස්ථාවක් ඉල්ලා සිටියි. ඇය තනිව හිඳින රූමත් තරුණ
කාන්තාවක වීම පෙරදැරි කරගෙන ඔවුනට එම අවස්ථාව දෙන රියැදුරන් බොහෝ විට බියපත් වනුයේ
ගමනේ අතරමග දී ඇය අද්භූත ලෙස අතුරුදන්වී ඇති බව දැකීමෙනි. ඒ අනුව මෙම මෝහිනිය නළඟනක, එක්දරු මවක ලෙස හා හුදකලා ගැහැනියක ලෙස ආකාර තුනකින්ම සමාජය හමුවේ පෙනී
සිටින බව පැහැදිලි ය.
ශ්‍රී ලාංකික ජන සමාජයේ පිළිගැනීමට ලක්වන අමනුෂ්‍යයන් අතරේ
එක් එක් පුද්ගල කණ්ඩායම් ඉලක්ක කොට ගත් යක්ෂයන් සහ යක්ෂණියෝ සිටිති. ඔවුන් අතරින් බාලගිරි
යනු කුඩා බිලිඳුන් රෝගී කරවන යක්ෂණියකි. අබිමාන සහ කළුකුමාර යන යකුන් දෙදෙනා හුදෙකලා
තරුණියන්ට පමණක් වින පමුණුවන බව පෙනෙයි.
ඒ අබිමාන යක්ෂයා දහවල් කාලයේදී හා කළු කුමාර යක්ෂයා රාත්‍රී
කාලයේදී වශයෙනි. මේ අනුව ඉහත සඳහන් තුන් ආකාරයේම මෝහිනිලා විපත් පමුණුවනුයේ හුදකලා
පිරිමින්ට පමණක් බවද පැහැදිලි ය. එමෙන්ම ඉහත සඳහන් අමනුෂ්‍ය බලවේග මගින් එම අදාළ කණ්ඩායම්වලට
මාරක විපත් නොපැමිණීම ද විශේෂත්වයකි. නිදසුනක් ලෙස බාලගිරි අබිමාන සහ කළුකුමාර යන යකුන්
කරනුයේ පිළිවෙළින් බිලිඳුන් සහ තරුණියන් ලෙඩ කරවීම පමණි.
එමෙන්ම මෙහි ඉහතින් සඳහන් කළ මෝහිනී නම් නළඟනගේ වසඟයට පැමිණෙන
තරුණයන් මරණීය අවදානමකට ලක්නොවේ. සැබැවින්ම සිදුවනුයේ ස්වප්න දෝෂ ආදී වශයෙන් අපගේ සාම්ප්‍රදායික
විශ්වාසයන්හි එන නිරෝගී පිරිමියකු තුළ සිදුවන සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියක්
ඒ අත්දැකීම මුල්කොට ක්‍රියාවට නැංවීම පමණි.
ඒ කෙසේ හෝ බාලගිරි, අබිමාන, කළුකුමාර
යනු හුදු යක්ෂ යක්ෂනියක් බවට පොදු සමාජමය පිළිගැනීමක් තිබේ. එහෙත්, අපගේ ජන සම්මතයෙහි මෙහි මුලින් දැක්වූ මෝහිනිය හැඳින්වනුයේ හුදු අවතාරයක්
ලෙස පමණි.
විෂ්ණු යනු ඉතා පැහැදිලි ලෙසම යක්ෂ විරෝධී ආර්ය සම්භවයකින්
යුතු දෙවියෙකි. එබැවින් විෂ්ණුගේ අවතාරයක් වන මෝහිනියට යක්ෂ ආරෝපණයක් ලබාදීම කෙසේවත්
සුදුසු නැතැයි අපගේ පැරණි ගැමි සමාජය සිතන්නට ඇත. බාලගිරි කළු කුමාරයා ආදී යකුන් පලවා
හරින සහ බන්ධනය කරන මන්ත්‍ර සේම දිෂ්ටි, ප්‍රාණ, සිද්ධි,
පලිප්පු, පුට ආදී පරිවාර මන්ත්‍ර රැසක් ද
තිබේ. නමුදු මෝහිනිය සම්බන්ධයෙන් එවැනි මන්ත්‍ර ගුරුකම් මාලාවක් ගැන අසන්නට නැත. එමෙන්ම
බාලගිරි, කළුකුමාර ආදී බලපෑම් වරින් වර ඉස්මතු විය හැකි බැවින්
ඒවා දෝෂ වශයෙන් පැහැදිලිව දක්වා තිබේ. නමුදු මෙම මෝහිනියගෙන් සිදුවන බලපෑම් දෝෂයන්
සේ හුවා නොදැක්වීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය.
ඉහත මා දෙවනුව සඳහන් කළ දරුවකු වඩා ගත් මෝහිනී අවතාරය විෂ්ණු
දෙවිඳුන්ගේ මෝහිනීට වඩා වෙනත් සම්භවයක් සහිත අවතාරයක් බව පැහැදිලිව පෙනෙයි. නමුදු ඇය
පිළිබඳව ද පැහැදිලි උප්පත්ති කතාවක් නැත. නමුදු ඇය කවුරුන් හෝ පිරිමියකුට රැවටීම නිසා
පීතෘත්වයක් නොමැති දරුවකු මෙලොවට බිහිකළ කාන්තාවක බව නම් පැහැදිලි ය. ඇය එම දරුවාද
රැගෙන මහා රාත්‍රියේ වීදි බැස ඔහු අතර මග හමුවන කවුරුන් හෝ පිරිමියකුට දරුවා බාරදීමට
සැරසෙනුයේ එබැවිනි.
මෙහි මා අවසන් වශයෙන් සඳහන් කළ රාත්‍රී යාමයේ තනිව වාහන පදවන
රියැදුරන්ට හමුවන සුදු හැඳ ගත් අද්භූත කාන්තාවගේ රූපය අප රටට පමණක් සීමාවී නැත. රිය
පදවන හෝ ඇතැම් විට මහ මග පයින් යන්නවුන් හමුවට එන එම අවතාරය ලොව පුරා හැඳින්වෙනුයේ
‘සුදු නෝනාගේ අවතාරය’ ලෙසිනි.
ස්වාමි පුරුෂයා පෙම්වතා හෝ වෙනත් පිරිමියකු වෙතින් තමනට සිදුවූ
මතෛක් ලොවට අබිරහසක්ව පැවැති කෲර අපරාධයක් ලොව හමුවේ අනාවරණය කිරීම පිණිස පාළු නිහඬ
රාත්‍රී යාමයන් හිදී මෙම ‘සුදු නෝනා’ වීදි බසින බව ලොව පුරා පවතින පොදු විශ්වාසයයි.
නමුදු ඇගේ දර්ශනය මතු විපත් පැමිණීමේ පෙරනිමිත්තක් සේ සලකනු ලැබේ. ඒ කෙසේ හෝ මේ තුන්
ආකාරයේම මෝහිනීලා යනු පිරිමින්ගේ උප විඥානයේ ජනිත වන කාමරාගය මුල්කොට ගත් දෘෂ්‍ය භ්‍රාන්තියක්
මිස අනෙකක් නොවන බව ඒ සම්බන්ධ විද්‍යාත්මක මතය වී තිබේ.
නමුදු මේ කවරාකාර මෝහිනියක හමුවේ වුව බියපත්ව අනවශ්‍ය අයුරින්
මනැස කලබලයකට පත් කර ගැනීම මරණය දක්වාම විහිද යන කායික මානසික අනර්ථයන් රැසකට මංපාදන්නකි.
එබැවින් යමකු එවන් විපතකට පත්වුවහොත් එය ඒ තැනැත්තා අමාරුවේ වැටීමක් පමණක් නොව අහිංසක
මෝහිනීලා නිකරුණේ අමාරුවේ හෙලන්නක් බවද නොකියාම බැරි ය.
No comments:
Post a Comment