එදා ඉරිදා උදේ කටුගෙයි සේවකයෙක් සිංහල සිංහාසනය ප්රදර්ශනය කැර තිබුණු කුටිය පවිත්ර කරමින් සිටියේය. සිංහාසනය ඔටුන්න සහ කඩුව ඇතුළු මහනුවර රජවරුන්ගේ රාජකීය කුකුධ භාණ්ඩ තැන්පත් කැර තැබුවේ ඇතුලේ දූලි ගසා දමා පවිත්ර කිරීමේ කාරියෙහි නිරතව සිටි සේවකයා වෙනත් කටයුත්තකට ප්රදර්ශන ශාලාවේ කෙළවර පිහිටි කාමරයට ගියේය. කටුගෙය නරඹන්නට උදෙන්ම පැමිණ සිටි පිරිස් විවිධ අංශවල තැන්පත් කැර තිබුණු භාණ්ඩ නරඹමින් සිටිනු දක්නා ලදී.
සිංහාසනය තැන්පත් කැර තිබුණු මැදිරිය දෙසට හදිසියේ පෙරළා පැමිණි සේවකයා සිය දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකින් අන්දමන්ද වූයේය.
මහනුවර සිංහල රජ පරපුරේ රාජකීය සිංහාසනයේ ‘‘රජතුමා’’ වාඩිවී සිටියේය. ඔහුගේ හිස මත අගනා ඔටුන්නකි. සුරතේ රන් කඩුවකි. සිංහාසනයේ පාමුල විල්ලූද අල්ලා තිබුණු පා පුටුව උඩ රජුගේ දෙපය තැන් පත් වී තිබුණි. මෙම පා පුටුව සඳහා විල්ලූදයෙන් නිම කැර තිබුණු කොට්ටය නාමල් රේණුවලින් පුරවා ඇතැයි කියනු ලැබේ.
මෙය සිහිනයක්ද, හොල්මන් වූ සිතේ මායාවක්දැයි සේවකයාට ඉක්මනින් අවබෝධ කැර ගැනීමට නොහැකි වූයෙන් මේ අසමාන රාජකීය විලාශය දෙස ඔහු නොකන්වැ නොඇස්ව බය භිරාන්තයෙන් බලා උන්නේය.
ඇස් නිලංකාරව අන්දමන්දවැ සිටි කෞතුකාගාර සේවකයා පියවි සිහිය ලත් වහාම සිංහාසනයේ විරාජමානව සිටි ‘‘රජතුමා’’ දෙස බලා වේගයෙන් කෑගැසුවේය. කලබලයට පත් වූ කෞතුකාගාර නිලධාරීහූ කුරුඳුවත්ත පොලීසියට ටෙලිෆෝන් පණිවුඩයක් දී කිසියම් ‘‘මහරජ කෙනෙකු’’ කෞතුකාගාරය තුළ පිහිටි සිංහල සිංහාසනයට නැගී වාඩි වී සිටින බවද අතේ රන් කඩුවක්ද හිසෙන් තුන් සිංහලයේ අණසක පැතිර වූ ඔටුන්න ද දරණ හෙයින් ‘‘රජතුමා’’ අපට නම් සිංහාසනයෙන් ‘‘පහ’’ කැර දැමිය නොහැකි යැයිද වැඩිදුරටත් පොලීසියට පැමිණිලි කැර සිටියහ.
වහාම කෞතුකාගාරයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් රජතුමා ඉදිරියේ පෙනී සිටියද රජතුමා උදාර ලෙස රාජකීය කකුධ භාණ්ඩ කිහිපයකින් සන්නද්ධව සිංහාසනය පිටම අසුන් ගෙන සිටියේය.
‘‘ආසනයෙන් බසින්නැයි’’ පොලිස් පිරිස රජුහට ආයාචනය කළද රජු නොබැණ නොබා - නිහඬව - උදාරව සිටියේය. රජු බලෙන් සිංහාසනයෙන් ඇද දැමිය හැකි නමුදු සුවිසල් වීදුරු කූඩුවක සිංහාසනය තැන්පත් කොට තිබුණු නිසා වීදුරු බිත්තිවලට හානි නොවන පරිදි රජු එළියට ඇද දැමීම අසීරු කරුණක් වූ හෙයින් පොලිස් කණ්ඩායම රජු පැදකුණු කරමින් ප්රයෝගයක් කල්පනා කරමින් සිටියහ. රජු සරමකුත් බැනියමකුත් ඇඳ සිටි මැදිවිය පසුවූවකු ලෙස පෙනුණි.
‘‘අනේ උන්නැහේ අපට පව් නොදී සිංහාසනයෙන් බැහැලා එන්නැයි’’ කෞතුකාගාර සේවක පිරිස කිහිපවරක්ම බැගෑපත් වූ නමුදු රජු නිහඬව අතෙහි වූ කඩුව උරපිට තබා රජලීලාවෙන් මෑ ‘‘වැඩ’’ සිටියේය.
පොලිස් කණ්ඩායමේ සිටි අති දැවැන්ත පොලිස් නිලධාරියා එකවරම රජතුමා ඉදිරියට පැන අතෙහි වූ රන්කඩුව ගිලිහී බිම වැටෙන තුරු රජුගේ ‘‘ශ්රී හස්තය’’ මිරිකා අඹරවන්නට වූයේය. කඩුව බිම ගිලිහිණි. අනතුරුව සිංහාසනයේ වාඩිවී සිටි රජු එකවරට එළියට ඇද දැමීමට පොලිස් නිලධාරියා සමත්වූයේය.
බළල් පැටවකු වලිගයේ අගින් ඇද ළඟට ගත්තාක් මෙන් අයෝමය පොලිස් හස්තයකින් ‘‘රජතුමා’’ සිංහාසනයෙන් එළියට ඇද දමනු ලැබුවේ මොහොතකින්ය. එළියටද ඇදී එද්දී ද ‘‘රජු’’ දෑතින් ඔටුන්න බදාගෙන එය හිසෙහිම තදකර ගෙන පැළඳගෙන රජවී සිටීමට බලවත් උත්සාහයක් දැරූ සැටි කටුගෙයි සේවක පිරිස විස්තර කළහ.
මේ කලබලය නිසා ‘‘අටමුළු තොප්පිය’’ ලෙස හැඳින්වෙන ඔටුන්නේ යටි පැත්තේ අල්ලා තිබුණු විල්ලූද රෙදි පටි දෙකක් ගැළවී තිබුණි. සිංහාසනය ආවරණය කැර තිබුණු දැවැන්ත වීදුරු මැදිරියේ එක් දොරක් බිඳී ලොකු පැලී ඉරක් මතුවිය.
අපට එදා උදේ ලැබුණු ටෙලිෆෝන් පණ්ඩුඩය අනුව කටුගෙට යද්දී පොලිස් ජීප් රියේ පටවාගෙන ගියේ මේ ‘‘රජතුමා’’ ය.
තමාගේම නම අප්පුහාමි යැයිද වරායේ අඟුරුමඩුවේ කලක් සේවය කළ බව පොලිසියට හෙළිදරව් කළ ඔහු විසිතිස් වාරයක්ම කටුගෙය බැලීමට පැමිණ සිංහාසනයේ වාඩි වෙන්නට අවස්ථාවක් එනතුරු බල බලා සිටියේ යැයිද අවස්ථාව උදාවූයේ මේ ඉරිදා යැයිද සිය කටඋත්තරයෙන් දක්වා සිටියේය.
‘‘ස්කිසො පේ්රනියා’’ නමැති මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයන් මෙබඳු සිද්ධිවලට ගොදුරු වන බව බටහිර මනෝ විද්යාඥවරු පෙන්වා දෙති.
උසාවියට ඉදිරිපත් කරනු ලැබූ අප්පුහාමි හොඳ ශරීර සනීපයෙන් තීන්දුවට මුහුණ දී සිටියේය.
බරපතල වැඩ ඇතුව සති කිහිපයක් සිරබත් කෑමට ඔහුට සිදුවිය. සිංහල සිංහාසනය සහ ඔටුන්න පිළිබඳ උරුමයක් තමාට ඇතැයි නඩු තීන්දුව අසාගෙන සිටි හෙතෙම උසාවියට කියා සිටියේය.
එබඳු උරුමයක් ඇත්නම් තම අයිතිවාසිකම් දක්වා වෙනම නඩුවක් උසාවියට ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් විනිශ්චයකාරවරයා, මේ අන්දමට රටේ ජාතික පුරාවස්තු කෙළෙසීමට ඉඩ නොතිබිය යුතු හෙයින් උසාවියෙන් දී ඇති තීන්දුව පිළිගත් යුතු බවට විත්තිකරුට තේරුම් කැර දුන්නේය.
මේ පරිද්දෙන් අප්පුහාමි ‘‘රජතුමා’’ සිංහාසනයෙන් පහකරනු ලැබ කම්වු පරිද්දෙන් හිරගෙයට ගියේය.
උපුටා ගැනීම : (1965 - ‘‘ලංකාදීප’’)
හෑ!
ReplyDelete