Monday, February 20, 2012

ඇපල් මෙන් රසවත් නැති ස්ටීව් ජෙබ්ස්ගේ ජීවන කතාව



ලොවක් මවිත කල නිර්මාණ රැසක් බිහි කරමින් ලොවට තාක්ෂණික වශයෙන් විශාල මෙහෙයක් ඉටුකල ඔහු ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස් ලෙස කෙටියෙන් හැදින්වුනු මේ අපූර්ව මිනිසාගේ සම්පූර්ණ නම වනුයේ ස්ටීවන් පෝල් ජොබ්ස් ය. ජෝන් සිම්සන් (Joanne Simpson) සහ අබ්දුල්ෆතාහ් ජන්ඩාලි (Abdulfattah "John" Jandali) මොහුගේ සැබෑ දෙමාපියන් වුවත් ජොබ්ස් අවුරුදු 27ක් වන තෙක් තමාගේ සැබෑ දෙමාපියන් කවුරුන්දැයි නොදැන සිටියේ, පෙරකී ඔහුගේ සැබෑ දෙමාපියන් දෙපළ ජොබ්ස්ව හදා වඩා ගැනීමට ක්ලාරා සහ පෝල් ජොබ්ස් හට බාරදී තිබූ නිසාවෙනි. ක්ලාරා ගිණුම්කාරියක (Accountant) වූ අතර පෝල් වෙරළ ආරක්ෂකයකු වුනා. මොවුන් ජීවත් වුනේ කැලිෆෝනියාවේ සිලිකන් නිම්නය (California's Silicon Valley) ආශ්‍රිත ප්‍රදේශයකයි.

ජොබ්ස් සහ ඔහුගේ පියා විනෝදාංශයක් වශයෙන් ඉලෙක්ට්‍රොනික් භාන්ඩ සමඟ විවිධ දෑ සිදු කලා. ස්ටීව්ගේ පියා ඔහුට ඉගැන්වුවා ඉලෙක්ට්‍රොනික් බඩු ගලවන්නත්, නැවත ඒවා සවිකරන්නත්, ඒවා සමඟ විවිද දේ සිදු කරන්නත්. මේ තුලින් ජොබ්ස් ඉලෙක්ට්‍රොනික් භාන්ඩ පිළිබඳ තම දැනුම වර්ධනය කර ගැනීමට සමත් වුනා. ස්ටීව් කුඩා කාලයේදී පාසල් යෑමට එතරම් ප්‍රියතාවයක් දැක්වූ සිසුවකු නොවුනා. ඔහුගේ සිත නිතරම යොමු වුනේ නව නිර්මාණ දෙසටයි. කෙසේ වෙතත් ජොබ්ස් තම පාසල් ගමන නොනවත්වා සිදු කලා. කෙසේ වෙතත් අවසානයේදී උසස් පාසලකට ඇතුල්වීමට සමත් වුනා. උසස් පාසලේ අධ්‍යාපනය ලබන අවධියේදී ජොබ්ස් ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමඟ මිත්‍ර වුනා. ස්ටීව් වොස්නියැක් ඉතා දක්ෂ පරිගණක ඉංජිනේරුවකු වුනා.

උසස් පාසල් අධ්‍යාපනය නිමාවීමෙන් පසුව ජොබ්ස් රීඩ්ස් විද්‍යාලයට ඇතුලත් (Reed College in Portland) වුනා. කේසේ වෙතත් මඟ පෙන්වීමක් නොතිබූ හෙයින් මාස 6ක් වැනි කෙටි කාලයක් තුලදී ජොබ්ස් එම පාසලේ අධ්‍යාපනය අතහැර දැමූ අතර ඉන්පසු ඔහු නිර්මාණාත්මක දෑ සඳහා යොමු වුනා. කෙසේ වෙතත් 1974 ජොබ්ස් වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවකු වශයෙන් අටාරි (Atari) සමඟ එකතු වුනා. මාස කිහිපයක ඇවෑමෙන් ඔහු එය අතහැර දමා ඉන්දියාවට පැමිණියේ අධ්‍යාත්මික අවබෝධය සොයා ගැනීම උදෙසායි. කෙසේ වෙතත් 1976 දී එනම් ජොබ්ස්ට වයස අවුරුදු 21දී වොස්නියැක් සමඟ එකතුව ඔහු Apple සමාඟම ආරම්භ කලා. මොවුන් දෙදෙනාගේ මේ උත්සාහය නිසාම ඔවුන්ට පරිගණක ක්ෂේස්ත්‍රයේ විප්ලවයක් සිදු කිරීමට හැකියාව ලැබුනා. ඔවුගේ පළමුවන නිර්මාණය වූ Apple I තුලින් ඔවුන් ඩොලර් 774,000 ක පමණ මුදලක් උපයා ගැනීමට සමත් වුනා. ඉන්පසු ඔවුන්ගේ දෙවන නිර්මාණය වූ Apple II ඔවුගේ පළමු නිර්මාණයටත් වඩා සාර්ථක වූ අතර ඒ මඟින් ඔවුන් ඩොලර් මිලියන 139ක් උපයා ගැනීමට සමත් වුනා.

කොහොම වුනත් ඒ විදිහට සාර්ථකව පටන් ගත්තු Apple සමාඟම දිගටම සාර්ථක වුනේ නැහැ. Apple II පරිගණකයෙන් පසුව ඔවුන් එලිදක්වපු නිර්මාණ එතරම්ම සාර්ථකත්වයක් ලබා ගත්තේ නැහැ. මේ අතරෙදි තමයි Apple සමාගම අභිබවා IBM සමාඟම ඉදිරියට එන්න පටන් ගත්තේ. මේ නිසාම ජොබ්ස්ට IBM සමාඟම සමඟ ඉතා උණුසුම් තරඟයක නියැලීමට සිදු වුනා. කෙසේවෙතත් Apple සමාඟම 1984 දී තමන්ගේ නවතම නිපැයුම ‍වෙන Macintosh පරිගණකය එලි දැක්වූවා. නමුත් මේ නිපැයුමත් එතරම් සාර්ථකත්වයට පත්වීමට සමත් වුනේ නැහැ. දිගින් දිගටම සමාගමට අත්වෙන මේ සෝචනීය ඉරණමට වගකිව යුත්තා ලෙස ඇගිල්ල දිගු වුනේ ස්ටීව්ටයි. මේ හේතුව නිසාම 1985 දී ජොබ්ස් තම තනතුරෙන් ඉල්ලා අස්වුනා. ඉන්පසු ඔහු NeXT යනුවෙන් වෙනම මෘදුකාංග හා දෘඪාංග ආයතනයක් පිහිටුවා ගත්තා. ඉන්පසු ජොබ්ස් ජෝර්ජ් ලූකස් (George Lucas) නැමැත්තාගෙන් ඇනිමේෂන් සමාගමක් මිලදී ගත්තා. පසු කාලයකදී Pixar Animation Studio ලෙස ප්‍රසිද්ධ වුනේ මේ සමාගමයි. ජොබ්ස් තම පෞද්ගලික ධනයෙන් ඩොලර් මිලියන 50 ක් මේ සමාඟම වෙනුවෙන් ආයෝජනය කලා. කේසේ නමුත් ඔහුගේ මේ ආයෝජනය මල්ඵල ගන්වමින් ලොව අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපට රුසක් නිපදවීමට Pixar Animation Studio ආයතනයට හැකි වුනා. ඒ අතර Toy Story, Finding Nemo සහ The Incredibles විශේෂයි.

කෙසේ නමුත් පසු කලෙක මෙම සමාගම Walt Disney සමාගමත් සමඟ ඒකබද්ධ වුනු අතරම ඒ ඔස්සේ ජොබ්ස් Walt Disney සමාගමේ ඉහළම කොටස්කරු බවට පත්වුනා. කේසේ නමුත් 1997 දී Apple සමාගම විසින් NeXT සමාගම ඇමරිකානු ‍ඩොලර් මිලියන 429කට මිලදී ගනු ලැබූ අතරම එම වර්ෂයේදීම ජොබ්ස්ද නැවතත් Apple සමාගමේ තමාට හිමිවතිබූ තනතුරට පැමිනියා. ඉන්පසුව නැවතත් ජොබ්ස් තම අප්‍රතිහත ධෛර්යය හා කැපවීම උපයෝගී කරගනිමින් Apple සමාගම නැවතත් නගා සිටවූවා. ඉන්පසුව Apple සමාගම දිගින් දිගටම සාර්ථකත්වටය පත්වුනු අතරම iPhone, iPad, iPod, iMac වැනි විශිෂ්ඨ ඝණයේ නිර්මාණ රැසක් Apple සමාගම හරහා බිහිවුනා. ඒ සියල්ලටම ප්‍රධාන කොටස්කරුවා වුනේ ස්ටීව් ජොබ්ස්. ඔහු Apple සමාගම ලෝකයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් බවට පත්කලේ මුළු ලොවටම ඇපල් ගෙඩියක ඇති වටිනාකම පෙන්වා දෙමින්. Apple සමාගම නිපදවූ මේ නිර්මාණ ලෝකයේ පෙරලියක් ඇති කිරීමට සමත් වුනා.

කෙසේ නමුත් මේ අසහාය නිර්මානකරුවා 2003 දී ඉතා සෝචනීය පුවතක් ඇසුවා. එනම් ඔහු අග්න්‍යාශයේ පිලිකාවකින් පෙලෙන බවයි. එය සුවකිරීමට සැත්කමක් අවශ්‍යවූ නමුත් ජොබ්ස් එක කල් දැමුවා. අවසානයේ මාස 9කට පමණ පසු 2004 දී සාර්ථක සැත්කමක් මඟින් ජොබ්ස් හට තිබූ ඒ ‍රෝගය සුව කිරීමට වෛද්‍යවරුන් සමත් වුනා. කෙසේ නමුත් මේ අපූර්ව විශ්වකර්ම මිනිසා තම වයස අවුරුදු 56ක් ව තිබියදී 2011 වසරේ ඔක්තොම්බර් 5වන දින සදහටම අප අතරින් සමුගත්තේ සදා නොමැකෙන මතකයන් අප අතරේ තබමින්. ඔහු මියැදුනද ඔහුගේ නාමය තවත් වසර දහස් ගනනක් වුව මුවඟ රැදෙන නාමයක් බවට පත්වනු ඇත්තේ ඔහු ලොවට දායාද කල ඒ අපූර්ව නිර්මාණ ගොන්න නිසාවෙනි.

වැදගත් වෙයි කියලා හිතනවා නම් SHARE කරන්නත් අමතක කරන්න එපා

No comments:

Post a Comment