Monday, September 10, 2012

~ රාවණා යුගයට දිවෙන හග්ගල ඉතිහාසය ~




නුවර එළිය පැත්තේ ඇවිදින්න ගියොත් අපි කව්රුත් යන තැනක්නේ හග්ගල මල් වත්ත. හැබැයි ඉතින් දැන් කාලේනං ට්‍රිප් යන්නේ කොහේ හරි ඈතක තරු පහේ හෝටලයක් හොයාගෙන ආයේ මෙහෙ ඉන්නවා වගේ පූල් එකක බැහැල නාල කෑම ටිකක් කාල, කාමරයක් අස්සට වෙලා ඉඳල එන්නනේ .. හරි එකෙන් වැඩක් නෑ.. හග්ගල මල් වත්තට අපි හිතනවට වඩා ඉතිහාසයක් තියෙනවා. මේ මල් වත්ත හග්ගල උද්භිද උද්‍යානය බවට පත් කරලා තියෙන්නේ 1961 දී. නමුත් ඊට සියවස් ගණනාවකට එහා පැත්තේ රාවණා රජ්ජුරුවන්ගේ කාලේ දක්වා දිවෙන ඉතිහාසයක් මේ හග්ගල ආශ්‍රිත ප්‍රදේශයට තියෙනවා. ප‍්‍රතාපවත් රාවණා රජු දක්‍ෂ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ උයන හග්ගල කන්ද ආශ‍්‍රිතව තිබුණු බවත් කියවෙනවා. රාමා සිතා කතාන්දරයේ සීතා දේවිය ස්තී‍්‍රපුර ගල්ලෙනක සඟවා සිටියදී මතුවූ අක්‍ෂි ආබාදයට ප‍්‍රතිකාර කළේ හග්ගල ඖෂධ උද්‍යානයේදී බව ඓතිහාසික තොරතුරු වලින් හෙළි වෙනවා. එදා සීතාවන් රෝගයෙන් සුවය ලැබූ තැන අද ”සීතාඑළිය” ලෙස සලකුණු ලබනවා. කොහොම වුනත් ඊට පස්සේ කාලෙක, ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන් පැතිර ගිය මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධයක් කොට සළකන ”ක්විනික්” නිෂ්පාදනය කිරීම සඳහා ”සින්කෝනා” නමැති ශාකයක් වගා කිරීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හරහා 1859 වසරේදී පර්යේෂණ කටයුතු මෙම හග්ගලදී සිදුකරලා තියෙනවා. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි, 1861 වසරේදී මෙම හග්ගල උද්‍යානය තුළ ඇතිකළ සින්කෝනා වගාව නිසා එය උද්භිද උද්‍යානයක් බවට පත්වෙන්නේ. සින්කෝනා වගාවෙන් ඇරඹු හග්ගල උද්භිද උද්‍යානය ආශි‍්‍රතව මෙරට ප‍්‍රධාන වැවිලි දෙකක් වූ කෝපි හා තේ වගාවන්ද පර්යේෂණ වශයෙන් සිදුකළ ස්ථානයක් බව කියවෙනවා. උද්‍යානයේ පර්යේෂණ සඳහා සිටවූ කෝපි ආදර්ශන නොවූවත් අඩි 15ක් උසට විහිදුණු තේ ගස් අපට අදද හග්ගල උද්භිද උද්‍යානයේදී නෙත ගැටෙනවා.
 

නුවරඑළිය දිස්ති‍්‍රක්කය හා බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශි‍්‍රතව පිහිටි හග්ගල උද්භිද උද්‍යානයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2200 පමණ. වසරකට දින 210ක් වර්ෂාව ලැබෙන මෙම උද්‍යානය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15ක් අතර පවතින ප්‍රදේශයක්. මුහුදු මට්ටමෙන් මීටර් 2173 ක් උසැති හග්ගල කඳුවැටිය පාමුල මීටර් 1745ක උසින් යුතුව අක්කර 500ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ හග්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කර තියෙනවා. නමුත් අද වෙන කොටනම් තයෙන්නේ අක්කර 68 ක් පමණ. මේ උද්‍යානය තුළ ශාක 20,000ක් පමණ පවතිනව. ඒ අතර ලංකාවට ආවේණික ශාක 4143ක්ද ලංකාව හා විදේශීයට ආවේණික 3107ක්ද හග්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණ උද්‍යානයේ තිබෙනවා. අද උද්‍යානය තුළ තිබෙන ගස් බොහොමයක් අවුරුදු 100 ට වඩා පැරණි ඒවා වනවා.

No comments:

Post a Comment