Thursday, May 3, 2012

◄හදිසි කෝපය නිසා...►



ඔහු ඉතා දඩබ්බර නපුරු ළමයෙක් විය. ක්‍ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවැත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙසක් ලබාදුනි.

''පුතේ, ඊලඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් රැගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන.''

ඔහුද ඊට එකඟ විය. පළමු දිනයේ ඔහු ඒ ලෑල්ලට සවිකර තිබූ ඇණ ගණන 37ක් විය. මෙසේ දිනෙන් දින අවසානයේ ඔහු ලෑල්ලට සවිකර ඇති ඇණ ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය. ඔහුට පෙර පරිදි තරහ නොයන බව ඔහුටම වැටහිණ. අවසානයේ ඔහු ලෑල්ලට එකඳු ඇණයක් හෝ සවි නොකරන ලද දිනයද උදාවිය. ඔහු ඉමහත් සතුටින් තම පියා වෙත ගොස් මේ බව පැවසුවේය.

''බොහොම හොඳයි පුතේ, හෙට ඉඳන් පුතා එහෙම එකම වරක් හෝ තරහ නොගෙන සිටින දිනයකට එක ඇණය බැගින් ඒ ලෑල්ලෙන් ගලවන්න ඕන. ඔක්කෝම ඇණ ටික ලෑල්ලෙන් ඉවත් වුණු දවසට ආයෙත් මට ඒ ගැන කියන්න.''

මාස කිහිපයක් මෙලෙස ගත වෙද්දී ලෑල්ලේ තිබුණු සියළුම ඇණ ගැලවී අවසන් විය. ඒ වනවිට ඔහුගේ හදිසි කෝපය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබුණි. ඉමහත් සතුටින් තම පියාව එතැනට කැඳවා ආ ඔහු පියාට කිසිඳු ඇණයක් ඉතිරිව නැති ලෑල්ල පෙන්වන ලදි.

''මට පුතා ගැන හුඟාක් සතුටුයි. පුතා දැන් බොහෝම හොඳයි. ඒත් පුතාට පේනවද මේ ලෑල්ලේ ඉතිරිවෙලා තියෙන සිදුරු. ආයෙත් කිසිම විධියකට ඒවා නැති වෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි පුතේ පුතා තරහින් අන් අයට කතා කරද්දී ඒ අයගේ හදවතේ ඇතිවන වේදනාව. අදින් පස්සේ පුතා කවදාවත් කාගෙවත් හිතක් පෑරෙන්න වචනයක් හෝ කතා කරන්න එපා.''

අපිට කෙනෙකු එක්ක ඇතිවන තරහට අපි ඒ කෙනාට පිහියකින් ඇනලා ආයෙත් පිහිය එළියට ගත්තත් ඇතිවන තුවාලය නැති වෙන්නේ නෑ. කොපමණ ඊට පසුව සමාව ගත්තත් වැඩක් නෑ, මොකද තුවාලය සිදුවෙලා ඉවර නිසා. අදින් පස්සේ තරහ යනවිට මොහොතකට මේ දේ මතක් කරගන්න උත්සාහ කරන්න.

No comments:

Post a Comment