Friday, May 18, 2012

සමාජය සුඛිතමුදිත කරන බෞද්ධ ආර්ථික රටාව.


බෞද්ධ ආර්ථික දර්ශනය රටක් සුඛිත, මුදිත කරලීමට මෙන්ම ශික්‍ෂණකාමී සමාජීය පරිසරයක් ගොඩනැඟීමටත් හේතුවෙනවා.

ආර්ථිකය රටක දේශපාලනයත් සමඟ බද්ධ වූවක්. දේශපාලනයත්, ආර්ථිකයත් වෙන්කර කතා කිරීම අසීරු කාර්යයක්. සංවිධානය ඒ හා බැදුණ අනෙක් පැතිකඩ යි. බටහිර විද්වතුන් සංවිධානය බටහිරින් බිහි වූවක් ලෙස හඳුන්වා දුන්නත් මුලින්ම එය දීඝ නිකායේ කූට දත්ත සූත්‍රයෙහි සඳහන් වී තිබෙනවා.

රැකියා විරහිතභාවය සහ ආර්ථික දරිද්‍රතාව වැනි ප්‍රශ්න රට තුළ උද්ගතව පවතින අවස්ථාවක රටේ රජතුමා ස්වකීය උපදේශක මඩුල්ල කැඳවනවා. ඔවුන්ගෙන් කළයුතු දේ විමසනවා. එහිදී විවිධ ආගම්වලට සම්බන්ධ පිරිස් ඒ සඳහා ආගමික උත්සව, යාග හෝම පැවැත්විය යුතු බව පැවසුවා. එකී උපදේශක මඩුල්ලේ නිහඬව සිටි බෝධිසත්ව උපදේශකතුමාගෙන් මේ සඳහා දෙන උපදේශය කුමක්දැයි රජු විමසුවා. ඔය කියන දේවල් කරන්න ගියොත් ඒවාටත් විශාල මුදලක් වියදම් වෙලා රට තවත් පිරිහෙන බව එතුමා පැවසුවා.

‘දස්සුඛීල’ යනු රටක ප්‍රශ්න හඳුන්වන්න තිබෙන සුදුසුම වචනයයි. ‘දස්සු’ යන්නෙන් පීඩිත පන්තියත් ‘ඛීල’ යන්නෙන් උල යන්නත් අර්ථ ගන්වනවා. එනම් ‘දස්සුඛීල ‘ කියන්නේ සමාජ දේහයට ඇනෙන උලක්. සමාජය නමැති ශරීරය තුළ පීඩිත පන්තිය නමැති උල ඇනිලයි තිබෙන්නෙ. මේ උල ගලවා ඉවත දමන්නේ කෙලෙසද යනුවෙනුයි රජු ප්‍රශ්න කරන්නෙ.

නිසරු ක්‍රියා කලාපයන් දියත් කිරීමෙන් ඵලක් නැහැ, ඒ සඳහා කළ යුත්තේ රට සංවිධානය කිරීම බව බෝධිසත්ව උපදේශකතුමා පෙන්වා දෙනවා. “ ඒතං සංවිධාන මගම්ම” යනුවෙන් කූටදන්ත සූත්‍රයේ ‘සංවිධානය ‘ යන්න විග්‍රහ කරනවා. රටක පරිහානිය අවම කිරීමට ගත හැකි සුදුසුම පියවර සංවිධානය යි. එකී සංවිධානය සිදු කළ යුතු ආකාරය අදියර තුනක් යටතේ පෙන්වා දෙනවා.

පළමු වැනි කාරණය රටේ ගොවිතැන පිළිබඳ උනන්දුවන ජනතාව රැස් කර (බීජ කත්‍ථ) ජීවත්වීමට ආහාරපාන සපයන්න, වගා කිරීම සඳහා බීජ ලබාදෙන්න, යටිතල පහසුකම් ඇති කරන්න (බීජ කත්‍ථ) ක්‍රියා කිරීමයි. එසේ සිදුකරනවිට ආර්ථීකය සමෘදධ වෙනවා.ආණ්ඩුවට ගොවිතැන සඳහා බීජ සපයන්න පුළුවන්. එහෙත් ආහාර සැපයීමක් නොකළහොත් ගොවිතැන් කටයුතු සාර්ථක වන තෙක් ආහාර සපයාගැනීම ඔවුන්ට ගැටලුවක් වෙනවා. එබැවින් බෞද්ධ දර්ශනය තුළ පැහැදිලි කැරෙනවා. ගොවිතැන් අස්වනු නෙළනතුරා මිනිසුන්ගේ ආහාරපාන අවශ්‍යතා සපුරාලිය යුතු බවත්, පොහොර බීජ සහ ජලය ආදී පහසුකම් සැලැසීමත් රජු විසින් කරනු ලැබිය යුතුය යන්න. එවිට ජනතාව ගොවිතැන් කටයුතු පටන් ගන්නවා. ඒ සමඟ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු වෙනවා. එය පමණක් රටේ සංවර්ධනයට ප්‍රමාණවත් නැහැ. ඒ අනුව දෙවැනි කාරණය වන වනිජ්ජා හෙවත් වෙළෙඳාම දියුණු කළ යුතුයි. වෙළෙඳාම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් සංවිධානය කරලා (පාභත) ප්‍රාග්ධනයද දිය යුතු වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කර දියුණුවන තෙක් ඔවුන්ට යැපීමක් ලබාදෙන්න ඕනෑ.

මෙහිදී රජය ප්‍රාග්ධනය ණයක් හැටියට පසුව ගෙවීම් කළ යුතුයි යන පදනම මත ලබාදෙනවා. ප්‍රාග්ධනය යොදා ආරම්භ කළ වෙළෙඳාම අසාර්ථක වූ විට නැවතත් ණය දිය යුතු වෙනවා. දෙවැනිවර ණය දෙනවිට මුල් ණයට එම ණය එකතුවී ණය දෙකක් බවට පත්වී පුද්ගලයා ණයකාරයෙක් වන නිසා තවත් පරිහානියට පත්වීම වැළැක්වීමට පන්නේ අලිඛිත්වා එනම් තල්කොළවල සටහන් කරමින් ලබාදුන් ණය බොල් ණය ලෙස කපා හරිනවා. බෞද්ධ ආර්ථික දර්ශනයේ පෙන්වාදෙන්නේ පළමුව ගොවිතැන් දියුණු කිරීමෙන් අනතුරුව විකිණීම සඳහා නිෂ්පාදන ඇති වෙන බව. ගොවිතැන් කටයුතු සහ වෙළෙඳාම් දියුණු කළ පමණින්ම රටක් සාර්ථකත්වයට ළඟා නොවන බව පෙන්වා දෙන බෞද්ධ ආර්ථික දර්ශනය තවත් පියවරක සාර්ථක වීම රටක දියුණුවට හේතුවන බව සඳහන් කරනවා.

එනම්, රාජ පෝරිස, නැතහොත් රාජ්‍ය සේවකයන් නඟා සිටුවීමයි රාජ්‍ය සංවිධාන විධිමත් කරන්න නම් යැපීම් මෙන්ම සේවයට සරිලන තෘප්තිමත් සාධාරණ වැටුපක් ලබාදෙන්න ඕනෑ. රාජ්‍ය පරිපාලනය යහපත් කරන්න, රාජ්‍ය සේවකයන්ගෙන් සාර්ථක සේවයක් ලබාගැනීමට ඔවුන්ට දීමනා ලබාදිය යුතුයි.

මෙකී ත්‍රිත්ව කාරණා, සාර්ථක නම් රටක ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. ගොවිතැන, වෙළෙඳාම සහ රාජ්‍ය සේවය යන කාරණා තුන අනුපිළිවෙළින් සංවර්ධනය නොවුණහොත් රටක් විශාල පරිහානියකට පත්වෙනවා.

ගොවියෝ ,වෙළෙන්දෝ සහ රාජ්‍ය පරිපාලකයෝ යන තුන් පිරිසටම ආචාර්ධර්ම පද්ධතියක් පවතිනවා. පන්සිල් රැකීම ඔවුන් සියලු දෙනාට පොදුයි. ගොවියා සතු වන ආචාර්ධර්ම පද්ධතියෙන් ස්වල්පයක් කෙටියෙන් පැවසුවොත් ‘බඹරස්ස ඉරියතෝ’ බඹරා මල නොතලා මල් පැණි ලබාගන්නවා වාගේ කාහටත් කරදරයක්, හිංසාවක් නොකර ධනය ඉපැදවිය යුතුයි. බෞද්ධ ආර්ථිකය තුළ නිෂ්පාදන බිහිකළ යුත්තේ පරිසරයටත් සමාජයටත් හානියක් නොවන පරිද්දෙන්.

‘වම්මිකෝ වුපචීයතී, වේයා තුඹසක් බඳින්නා වාගේ පියවරින් පියවර ස්වකීය නිෂ්පාදන සංවර්ධනය කළ යුතුයි. පුද්ගලයකුට දියුණුවීමට මහා පරිමාණ ආයෝජන සිදුකළ යුතු නැහැ. ‘බහා බල පරිචිතා -සේදා වක්ඛිත්තා බාහු බලය යොදා දහදිය මහන්සියෙන් තමයි ධනය උපයන්න ඕනෑ. ‘ධම්මිකේහි ධම්මලද්දෙහි ‘ නිෂ්පාදන සියල්ල දැහැමි වෙන්න ඕනෑ. උපයන දේ පිළිබඳ මෙලොව පරලොව උභය අංශය ගැනම සිතා සතුටු විය හැකි වන්නේ එවිටයි.

වෙළෙඳාමේදි තලා කූට මානකූට සහ කංස කූට යන වැරැදි මිථ්‍යා වෙළෙඳ ක්‍රමවලින් ඉවත් විය යුතුයි. පංචවිධ මිථ්‍යා වෙළෙඳ ක්‍රමත් බෞද්ධ ආර්ථික දර්ශනය බැහැර කරනවා. විදේශීය භාණ්ඩ මෙරටට ආනයනය ගැටලුවක් නැහැ. සැවැත්නුවරත් නිදහස් වෙළෙඳ කලාපයක්. එහෙත් බුදුරදුන් එය විවේචනය කළේ නැහැ. අළුයට තිබෙන ගිනි අඟුරක් සුළං ගසා විශාල ගින්නක් බවට පත් කරන්නට පුළුවන් වගේ සංවර්ධනයත් දියුණු කරන්න පුළුවන්. එහෙත් භෞතික වශයෙන් ඇතිවන සංවර්ධනය ඕනෑවට වඩා පුළුල් කළොත් රට පරිහානියට පත් වන බවත් බෞද්ධ ආර්ථික දර්ශනය සඳහන් කරනවා.

රාජ්‍ය සේවයත් සීලයෙන් යුක්ත විය යුතුයි. දස රාජ ධර්ම ක්‍රියාත්මක විය යුතුයි. සේවයට සරිලන සාධාරණ වැටුපක් ගෙවිය යුතුයි. සාධාරණ ලෙස සේවාවන්හි නියුක්ත වීමත් අනිවාර්යයි. සිඟාලෝවාද සූත්‍රයෙහි ස්වාමි, සේවක යුතුකම් හඳුන්වා දී තිබෙනවා. තම තමන් ස්වකීය යුතුකම් ඉටුකරන විට නිසැකයෙන් අයිතිවාසිකම් සුරක්‍ෂිත වෙනවා. යුතුකම්, අයිතිවාසිකම් අතර සමතුලිතතාවක් තිබිය යුතුවෙනවා.

බෞද්ධ ආර්ථික දර්ශනය රටක් සුඛිත, මුදිත කරලීමට මෙන්ම ශික්‍ෂණකාමී සමාජීය පරිසරයක් ගොඩනැඟීමටත් හේතුවෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ

No comments:

Post a Comment