Saturday, May 26, 2012

සඳකඩ පහණක ඔපලූ කැටයම් අතර සැගව ගිය මතකය

සඳකඩපහණක ගීතය බොහෝ දෙනා අසා ඇති අදටත් අප සිත් සතන් තුල නොමියෙන සේ කැටයම් වූ ගීයක්වුවද එහි පසුබිම් කරුණු බොහෝ දෙනෙක් නොදනිති .සඳකඩපහණක ගීතයේ සැබෑ අර්ථය කුමක් ද යන්නබොහෝ කලක සිට මා සොයමින් සිටි දෙයකි.. මේ ගීතයේ සුළමුල සෙවීමට මා කලක පටන් නිතැතින්ම යොමු වුවදමේ ගීය ගැන බ්ලොග් ලිපියක් ලිවීමට සිත්වුයේ “ළදුනේ ගීතය ලීයවුන හැටි" ලිපියට ලද අගනා ප්‍රතිචාර වලින්පසුවයි.




සඳකඩපහණක ගීතය සිවු කුළුදුල් නිර්මාණයක්ය යන්න බොහෝ දෙනා නොදන්නා කරුණකි. එය සිවු කුළුදුල් යයිමා කියන්නේ පහත හේතු නිසාය..
මෙය සුනිල් එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට ගීත ගායනයයි.
මෙය වොලී නානායක්කාර මහතාගේ කුළුඳුල් චිත්‍රපටය ගේය පද රචනයයි.
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය මෙම ගීතය ඇතුලත් චිත්‍රපටය වන මාතර ආච්චී චිත්‍රපටයයි.
මෙය වික්ටර් රත්නායකයන්ගේ කුළුඳුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි.


මා නරඹන ලද සුනිල් එදිරිසිංහයන් සහභාගී වූ එක්තරා රුපවාහිනි වැඩසටහනක ඔහු විසින් මේ ගීය පිළිබද සුන්දර මතකය ආවර්ජනය කරන ලදී. ඔහුට මෙම ගීතය ගායනා කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ ඔහුගේ ලොකු අයියා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ඔහුට කලින් දෙනු ලැබූ එක්තරා පොරොන්දුවකට අනුවයි. සුනිල් එදිරිසිංහයන්ට ගායන ක්ෂේත්‍රයට කුඩා කල සිට තිබු ඇල්ම වැනිම ඇල්මක් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට රංගන ක්ෂේත්‍රය කෙරේ තිබිණ.


“කවදාහරි මම පික්චර් එකක් කරපු දවසට උඹටත් එකේ සින්දුවක් කියන්න දෙනවා” යයි සතිස්චන්ද්‍රයන් කලෙක ඔහුට පවසා තිබිණ . ලොකු අයියා තම පොරොන්දුව එලෙසම ඉටුකරමින් තමන්ගේ කුළුදුල් සිනමා නිර්මාණයේ ගීතයක් ගායනා කිරීමට මල්ලිට අවස්ථාව ලබාදෙන ලදී.








සුනිල් එදිරිසිංහයන්ම පවසන අන්දමට ඔහු පළමුවරට සඳකඩපහණක ගායනා කරන සමයේ ඔහුට සංගීතය පිළිබදව සහජ දක්ෂතාවය විනා නිසි ප්‍රායෝගික පුහුණුවක් තිබී නැත. “සඳකඩපහණක” ගයා අවසානයේ සතිස්චන්ද්‍රයන් ඔහුට පවසා ඇත්තේ


“ උඹ සංගීතය හොදින් ඉගෙනගෙන ආවේ නැතිනම් මගේ පිචර් වල ආයේ සිංදු නම් නැහැ “ යනුවෙනි.


ඔහු සංගීතය විෂයක් ලෙස ප්‍රගුණ කිරීමට යොමුවන්නේ ඉන් අනතුරුවයි. එදා කිසිදු ප්‍රායෝගික පුහුණුවකින් තොරව තම සහජ දක්ෂතාවය පමණක් භාවිතයට ගෙන එලෙස ගැයූ ගීය මෙතරම් විශිෂ්ට නිර්මාණයක් බවට පත්වනු ඇතැයි එදා නම් ඔහු සිතන්නට නැතිව ඇත. සුනිල් එදිරිසිංහයන්ගේ ගායනයට වූ සහජ දක්ෂතාවය මින් මොනවට පැහැදිළිවේ.


විවිධ අය විවිධාකාරයෙන් මේ ගීයේ අරුත විග්‍රහ කළද ගී පද රචකයා විසින් එයරචනා කිරීමට මුල් වුන හේතුව කුමක්දැයි යන්න අද වනතුරුත් මට හරිහැටිසොයාගැනීමට නොහැකිවූ කරුණකි. දයානන්ද අයියාගෙන් මා ලද මග පෙන්වීමකට අනුව සඳකඩපහනක ගීතය අඩංගු වන මාතර ආච්චි චිත්‍රපටියේ කතා තේමාවට අනුකුලව මෙය ලියවෙන්නට ඇතයි උපකල්පනයෙන් මාතර ආච්චි චිත්‍රපටය සොයා ගැනීමට අන්තර් ජාලය පීරුවද එය සොයා ගත නොහැකි විය. එනමුත් මට www.boondi.lk හි හමු වූ එක්තරා ලිපියකට අනුව චිත්‍රපටයේ කතාව පහත පරිදිය. (ගීතය ගැන එකී ලිපියෙන් උපුටාගත් විචාරයක් මාගේ ලිපිය අවසානයේ පළ කර ඇත.)


මෙම චිත්‍රපටයට වස්තුබීජය වනුයේ ප්‍රේම කතාවකි. එහි එන තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙයි. කාලය ගතවද්දී තරුණියට වෙනත් පොහොසත් තරුණයෙකු හා විවාහ වන ලෙස ඇගේ පවුලේ අයගෙන් වන දැඩි බලපෑමක් නිසා තරුණියට අකමැත්තෙන් වුව ද ඊට එකඟ වීම සිතුවේ . කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීය තුලට කැටිකර ඇති බව එහි සදහන් විය. ඇත්ත වශයෙන්ම එය නම් අගනා පැහැදිලි කිරීමකි.

"රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටී බලා "


ප.ලි... මිහින්තලයේ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන කොට්ටාවේ සමිත හිමියන් www.boondi.lk අඩවියට ලියන ලද ලිපියක් මගින් මෙම ගීතයට ඉතා අනර්ඝ අර්ථකතනයක් ලබා දී ඇත. මා පහත දක්වන්නේකොට්ටාවේ සමිත හිමියන්ගේ ලිපියෙන් උපුටා ගන්නා ලද එම අර්ථකථනයයි. ඔබ වහන්සේටත් බොහොමත් පින්.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා

ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.






සඳකඩ පහණක ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ අත් අකුරින්

2 comments:

  1. ඔයිට වඩා තව ටිකක් හිතන්න එතකොට තේරුම හරියටම දැනගන්න පුළුවන් වෙයි ඔබගේ උත්සාහය අගය කොට සලකනවා

    ReplyDelete
  2. ඔයිට වඩා තව ටිකක් හිතන්න එතකොට තේරුම හරියටම දැනගන්න පුළුවන් වෙයි ඔබගේ උත්සාහය අගය කොට සලකනවා

    ReplyDelete