Saturday, May 26, 2012

අත තියා ලෙඩ හොඳ කරන දේව දරුවා


විෂ්ණු දෙවියන්ගේ වරම් ලැබූ බව කියන ළමයෙක් ගලේවෙල පැත්තේ ඉන්නවා. ඒ වරම් බලයෙන් ඒ ළමයා පුදුම හාස්කම් කරන්නේ. දොස්තර මහත්වරුන්ටත් සුවකරන්න බැරි වුණ ලෙඞ්ඩු විෂ්ණුගේ වරම ලැබීම නිසා ළමයා අත තියපු ගමන් හොඳ වෙනවාලූ.
මේ ආරංචිය අපට  ලබාදෙන්නේ වෛද්‍ය ජනක ජයසූරිය මහතායි.
දේව බලයෙන් ලෙඩ රෝග සුව කරනවා යැයි කියන මේ අරුම පුදුම දේව දරුවා සොයා පසුගියදා අපි ගලේවෙල ප‍්‍රදේශය බලා ගියෙමු.
ගලේවෙල සිට මාතලේ පාරේ ගිය විට මැදපොලදී දේව දරුවා සිටින නිවෙස හමුවේ.
වෛද්‍ය ජනක ජයසූරිය මහතා දේව හාස්කම් වලින් යක්ෂයින් ගේ බලයෙන් හා වෙනත් අද්භූත බලවේග වලින් ලෙඩ රෝග සුව කිරීමට හැකි යැයි කියා ගන්නා අය සම්බන්ධව විද්‍යාත්මක ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් පර්යේෂණ හා ගවේෂණ වල නිරතව සිටින විද්වතෙක්.
ගලේවෙල දේව දරුවා ගැන විද්‍යාත්මක ගවේෂණයක් කිරීම සඳහා වෛද්‍ය ජනක ජයසූරිය මහතාද අපත් සමග මේ ගමනට එක්විය.
අපි මෙම දේව දරුවා ගැන ඉරිදා ලංකාදීපයට විශේෂාංගයක් සකස් කිරීමට බව එම දරුවාගේ මව්පියන්ට පවසා සිටියෙමු.
බොහොම ලෙන්ගතුව අපි පිළිගත් දරුවාගේ මව්පියන් දෙදෙනා තරයේම කියා සිටියේ ඒ ගැන කිසිම දෙයක් තමන්ට පැවසීමට නොහැකි බවය.
විෂ්ණු දෙවියන්ගේ වරම් ඇතැයි කියන දරුවාගේ මාමා කෙනෙක්ද ඒ අවස්ථාවේ නිවසට ගෙන්වාගනු ලැබුවේ දරුවාගේ මව්පියන් විසිනි. ඔහු මාතලේ පොලිස් අධිකාරි කොට්ඨාශයේ පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් නිලධාරියෙකි.
දරුවා කරන හාස්කම් ගැන ලොකු විස්තරයක් අප හමුවේ තැබූ පොලිස් නිලධාරියා තරයේම කියා සිටියේ දේව වරමින් ලෙඩ සුවපත්වූ අයගෙන්ම විස්තර විමසා දැගන්නා ලෙසය.
දේව දරුවා ඔහුගේ සමවයසේ පසුවන මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට ගොස් ඇති බව අප දැනගත්තේ ඒ දරුවාගේ මව්පියන්ගෙනි.
විෂ්ණු දෙවියන්ගේ වරම් හා බලය ලැබ ඇති බව කියන මේ දරුවා ගෙදර දේව පූජා පවත්වා ලෙඩ රෝග සුවකරන්නේ බදාදා හා සෙනසුරාදා දිනවල පමණකි. ඒ දින දෙකේ ඈත එපිට ප‍්‍රදේශවලත් සිය ගණන් සෙනග පැමිණෙන බව අපට දැන ගැනීමට ලැබිණි.
අප දිගින් දිගටම කරන ලද ඇවිටිලිවල ප‍්‍රථිඵලයක් වශයෙන් මේ දරුවාට විෂ්ණු දෙවියන්ගේ වරම් බලය ලැබුණු ආකාරය ගැනත් ඔහු රෝගීන්ට අත තැබූ සැණින්, ලෙඩ රෝග සුවපත් කරන ආකාරය ගැන තොරතුරු දැන ගැනීමට හැකිවිය.
ගලේවෙල ප‍්‍රදේශයේ පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ දරුවාගේ වයස අවුරුදු 9 කි.
දරුවාගේ පියා බේකරි සමාගමක වැඩ පරීක්ෂකවරයෙක් වන අතර මව පෙර පාසල් ගුරුවරියකි. දෙදෙනාම දැන් සේවයෙන් ඉවත්වී සිටින්නේ දරුවා කරන දේව මෙහෙයන්වලට උදව්පදව් කිරීම සඳහාත් දරුවාගේ ආරක්ෂාව සඳහාත්ය.
මේ මව්පියන්ට සිටින එකම දරුවා ඔහු පමණකි. ඒ නිසාම ඔවුන් දරුවාට දක්වන්නේද අසීමිත ආදරයකි.
දරුවාට විෂ්ණු දෙවියන්ගේ වරම් ලැබුණු ආකාරය ගැන අපි විමසා සිටියේ දරුවාගේ පියා වන සම්පත්ගෙනි.
පුතා ඉපදිලා අවුරුදු තුනක් විතර යද්දි තමා පැමිණියේ දිව්‍ය ලෝකයේ සිට බව පවසන්නට පටන්ගත්තා. ඒ කාලයේ අපි එච්චර ඒ කතා ගණන් ගත්තේ නැහැ. පස්සේ පුතා මස්මාළු කන එක ප‍්‍රතික්ෂේප කරන්න පටන්ගත්තා. මස් මාළුත් එක්ක බත් අනලා ගුලි කරලා කටේ තිබ්බාම ආපහු එළියට දාන්න පටන්ගත්තා. එළවළුයි බතුයි අනලා කැව්වම අපූරුවට කනවා.
පුතාට වයස අවුරුදු තුනේ විතර ඉඳල පෙර ආත්මය කියවන්න පටන්ගත්තා. ඔහු නිතරම කිව්වේ දේව විමානයක සිට මෙහි පැමිණි බවයි. අපි කුඩා කාලයේ සෙල්ලම් බඩු අරන් දෙනවා. පුතා සෙල්ලම් බඩු වලට ආස කළේ නැහැ. ඒවා පැත්තකට දානවා. කොහේ හරි යද්දී පුතා දෙවිවරුන්ගේ ෆොටෝ දැක්කාම ඒවා ඉල්ලා හඬනවා. ඒවා අරන් දෙනකම්ම කෑගහලා හඬනවා. ඇඬිල්ල නවතින්නේ ඒවා අරන් දුන්නාම තමා. පුතා ඒවා ගෙදර ගෙනවිත් තියාගෙන වන්දනාමාන කරනවා.
අපට හිසරදයක් උණක් හැදුනාම පුතා ඇවිත් ඇඟට අත තියලා දැන් හොඳවෙයි කියලා කියන්නට පටන්ගත්තා. අතතියලා පැය දෙක තුනක් යද්දී අපේ ලෙඬේ සුවවෙලා. අපිටත් හරිම පුදුමයි. පුතාගෙන් කොහොමද මෙහෙම ලෙඩ සුවකරන්නේ කියලා අහපුවාම එයා කිව්වේ විෂ්ණු දෙවියන්ගේ බලය මට තියනවා ඒ බලයෙන් තමා මේවා කරන්නේ කියලා. පස්සේ පුතා අහල පහල අයටත් ලෙඩක් වුනාම අත තියලා රෝගය සුවපත් කරන්න පටන්ගත්තා. මේ කථාව පැතිරිලා ගිහින් දැන් මාස තුනක හතරක කාලයක ඉඳලා පුතාට ලැබිලා තියන විෂ්ණු දෙවියන්ගේ වරමින් ලෙඩ රෝග සුවකරන්න සිය ගණන් අපේ ගෙදරට එන්න පටන්ගත්තා. බොහෝ ඈත පැතිවල ඉඳලා මිනිස්සු එනවා.
දොස්තර මහත්වරු සුව කරන්න බැහැයි කියපු රෝග අපේ පුතා විෂ්ණු දේව වරමින් සුවකරලා දීලා තියනවා. බදාදා සෙනසුරාදා කෙම්මුර දවස්වලට විතරයි මේ වැඬේ කරන්නේ. ඒ දවස්වලට කොච්චර සෙනඟ ආවත් පුතා රෝග සුවපත් කරන්නෙ බොහොම පොඩි ගණනකගේ. සමහරදාට හයහත් දෙනෙකුගේ විතරයි. දේව වරම ලැබෙන්නේ එහෙමයි. දෙවියන්ගේ වරම තියන වේලාවට විතරයි. එහෙම කරන්න පුළුවන්. හැමවෙලාවෙම බැහැ. යැයි සමන්ත හා ඔහුගේ බිරිඳ අප සමග කීහ.
රෝගීන්ට අත තියලා පස්සේ කොහොඹ, කහ, කෝමාරිකා, රණවරා, බෙලි මල් වගේ දේවල් දින 21 ක් විතර යන්න කියනකම් බොන්න කියනවා. මේ විදිහට බොහොම දරුණු ලෙඩ රෝග සුවපත්වුණ අය  ඕනෑතරම් ඉන්නවා. අපි සල්ලි හම්බකරන්නේ නැහැ. පූජා වට්ටියට කාසිතුනක් තියන්න කියලා පුතා කියනවා එච්චරයි. පුතාට හොඳට පිරිත් කියන්න පුළුවනි. පිරිත් පැන් පවා රෝගීන්ට පුතා බොන්න දෙනවා. පුතාට හොඳට ඉගෙනගන්න පුළුවනි. හැම විෂයකටම වාගේ ලකුණු 80 කට වැඩි ප‍්‍රමාණයක් ගන්නවා.
පුතා තව ටිකක් ලොකුවුණාම මහණ වෙන්නයි ඉන්නේ. අපි දෙන්නා ඒකට ඉඩදෙනවා. පුතාගෙන් ලෙඩක් සුවපත් කරගත්තු දොස්තර මහත්තයෙක් කම්පියුටරයක් අරන් දුන්නා. අපි දෙන්නා කරපු රස්සාවලිනුත් අස්වෙලා මේ ඉන්නේ පුතාගේ පිහිටෙන් අසරණ රෝගීන්ට පිහිට වෙන්න  ඕනෑ නිසා. පුතාගෙන් සල්ලි හම්බකරගෙන කන්න අපිට  ඕනෑකමක් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. පුතාගේ අධ්‍යාපන කටයුතුවලට කිසිම බාධාවක් හිරිහැරයක් නොවෙන ආකාරයට තමා මේවා සියල්ලක්ම කරන්නේ.
අපි කතාබහ කරමින් සිටි අතරවාරයේ මේ දරුවා සෙල්ලම් කිරීමට ගොස් ගෙදර පැමිණියේ සමවයසේ දරුවන් කිහිපදෙනෙකු ද සමගය.
දේව වරම් ලැබී ඇති ඒ දරුවා සමඟ පොඩි වේලාවක් හෝ කථා බස් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටියත් දරුවාගේ මව්පියන් පමණක් නොව මාමා වන පොලිස් නිලධාරියාද එයට ඉඩ දීමට නොහැකි බව තරයේම කියා සිටියේය.
මස් මාළු කාලා හිටියොත් දරුවාට ඒක හොඳට දැනෙනවා. අපේ ගෙදර පැත්ත පළාතකටත් මස් මාංශ ගේන්නේ නැහැ. මස් මාළු කාලා දේවාලයට ඇතුළු වුණොත් ඒ වෙලාවෙම දඬුවම් ලැබෙනවා යැයි ඔවුහු වැඩිදුරටත් අප සමඟ පැවසූහ.
නිවසේ කාමරයක දේවාලය පවත්වාගෙන යන අතර එහි විෂ්ණු දෙවියන්ගේ පිළිම ඇතුළු දේව රූප විශාල සංඛ්‍යාවක් දක්නට ඇත.
අප එහි සිටින විට විෂ්ණු දෙවියන්ගේ වරම් ඇති බව කියන දරුවා පැමිණ සම්පත්ගේ ඇෙඟ් සුරතල් ලෙස දැවටෙමින් කියා සිටියේ දේවාලයේ ෆොටෝ ගන්න එපා යැයි කියමිනි.
විෂ්ණු දෙවියන්ගේ ඉල්ලීමක් මත දරුවා මෙහෙම කියන නිසා ඡුායාරූප ගැනීමෙන් වැළකී සිටින ලෙස සම්පත් අපෙන් ඉල්ලා සිටියේය.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද නොගන්නා ලෙස අපෙන් ඉල්ලීමක් කළහ.
මේ නිවසට පැමිණීමට පැය භාගයකට පමණ කලින් අපි ගලේවෙල නගරයේ පිහිටි හෝටලයකින් දිවා ආහාරය ගත්තේ මස් මාංශද සමගිනි.
මස් මාංශ අනුභව කර ගෙදරට පැමිණයොත් ඒ බව දරුවාට දේව බලයෙන් දේව මහිමයෙන් දැනෙන බවත් මස් මාංශ අනුභව කර දේවාලයට වැරදීමකින් හෝ ඇතුළුවුවහොත් දේව දඬුවම් වලට ලක්වෙන බවත් ගෙදර උදවිය පවසා තිබිණි.
අප සෑහෙන වේලාවක් දේවාලය තුළ ගතකර දේවඋදහසට දේව දඬුවම්වලට ලක්නොවී නිරුපද්‍රිතව පිටතට පැමිණීමට හැකිවූයේ කෙසේද යන්න ගැනත් දේව වරම් ලබා ඇතැයි කියන දරුවාට අප මස් මාංශ අනුභව කර ඇති අය බව දැනුණේ නැත්තේ ඇයිද යන්න ගැන  අපට ඇත්තේ ලොකු ප‍්‍රශ්නයකි.
මීට අවුරුදු 1 1/2 කට පමණ කලින් මේ ගෙදර සිදුවූ අරුම පුදුම හාස්කමක් ගැනද අප සමඟ කියා සිටියේ දරුවාගේ පියා වන සම්පත් මහතාය.
පුතා දවසක් භාවනා කරමින් හිටියා. මම පුතේ දැන් භාවනා කළා ඇති එන්න කිව්වා. පුතා ආවේම නැහැ. මම අතින් ඇදගෙන ආවේ කකුලකට හිමින් පාරක් ගසමිනුයි. තාත්තේ ඔයාට දඬුවම් ලැබේවි මේ කළ දේට යැයි කියා පුතා මට කිව්වා. මට එච්චර ඒ ගැන ගණන් ගත්තේ නැහැ.
එදා රෑ මට නිදාගන්න බැරිව ගියා. නයි හීනෙන් පෙනෙන්න පටන්ගත්තා. මට හීනෙන් නයෙක් දෂ්ඨ කළා දැක්කා. මම එකපාරටම ඇහැරිලා බලද්දී මගේ අතේ ඇඟිල්ලකින් ලේ ගලනවා. පස්සේ මේ  වෙද මහත්තයෙක් ළඟට ගිහින් සර්ප විෂට බෙහෙත් ගත්තා.
පුතාව ආරක්ෂා කරන්නේ විෂ්ණු දෙවියන් නිසා මට එදා විෂ්ණු දෙවියන් ඒ දඬුවම ලබාදුන්නා. පුතාට එදා පටන් අපි නියපිටින් පහරක් ගහන්නේ නැහැ. සැරවැර කරන්නේ නැහැ. යැයි සම්පත් මහතා කියා සිටියේ බොහොම භයපක්ෂපාතිවය.
දරුවාගේ මාමා වන පොලිස් නිලධාරියා කියා සිටියේ තමාගේ දරුවකුටද උණ ගැනී කිහිපවතාවක්ම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත්තත් සුවයක් ලැබී නොමැති බවත් මේ පුතා විසින් සුළු මොහොතෙන් උණ රෝගය සුවකර දුන් බවත්ය.
ගම්වාසීන්ද මස් මාංශ අනුභව කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින බවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේම ලෙඩ රෝග පුතා  සුවකරදී ඇති බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් අප සමඟ කියා සිටියේය.
පොලිස් මුර සංචාරක පොතක්ද (දේව දරුවාගේ නිවසේ) ඉදිරිපිට එල්ලා තිබෙන අයුරු දක්නට ලැබිණි.
විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම රැුකවරණය නොඅඩුව ලැබෙන බව කියන නිවසට පොලිස් මුර සංචාරයක් අවශ්‍යවූයේ ඇයිද යන්නත් අපට ඇත්තේ ලොකු ගැටලූවකි.
දේවාලය පිහිටා තියන කාමරය බිත්ති බැඳලා තියෙන්නේ මැටිවලින්. ගලෙන් බඳින්න හදද්දී පුතා කිව්වා දේවාලයේ ඇතුළට දෙවිවරුන්ට වඩින්න ගලෙන් බිත්ති බැන්ඳාම අපහසුයි. ඒ නිසා එහෙම කරන්න එපා කියලා යැයි සමුගැනීමට කලින් සම්පත් මහතා පැවසීය.
සම්පත් මහතාගේ නිවසින් සමුගත් අප ඊළඟට ගියේ තලකිරියාගම පුරාණ විහාරස්ථානාධිපති පොල්ගොල්ලේ මංගල හිමියන් බැහැදැකීම සඳහාය.
මමත් මේ දරුවා බලන්න ගියා. රෝග සුවපත් කිරීමේ බලයක් තියන බව මටත් පෙනී ගියා. පුණ්‍ය බලයකින් තමා මේ වගේ දේවල් කරන්න මේ ළමයාට හැකියාව ලැබී තිබෙන්නේ. පුංචි දරුවෙක් මේ විදිහට රෝගීන් සුවපත් කිරීමට ඉදිරිපත්ව සිටින්නේ සමාජ සේවාවක් වශයෙන් මව්පියන් දෙදෙනාගේද සහාය ඇතිව මේ ළමයා කරන්නේ ලොකු සේවයක්. මාත් එක්ක ගිය භික්ෂූන් වහන්සේ කෙනෙකුටත් මේ දරුවා ප‍්‍රතිකාර කළා. දින 21 කින් සුවය ලබන බවට කිව්වා. කොන්දෙ හා යටිපතුල කැක්කුම් වලට තමා ප‍්‍රතිකාර ලබාගත්තේ. තවම දින ගණන සම්පූර්ණ වුණේ නැහැ. යැයි මංගල හිමියෝ පැවසූහ.
හදවතේ සිදුරක් තිබී දැරියක් විෂ්ණු දෙවියන්ගේ බල මහිමයෙන් දින 21 ක් වැනි කෙටිකාලයක් තුළ මේ දරුවා සුවපත් කළ බවට ඒ දරුවාගේ මව්පියෝ අප සමඟ පවසා සිටියහ.
හදවතේ සිදුරක් තිබී සුවපත් කළා යැයි පැවසූ දැරියගේ පියා වන ප‍්‍රියන්ත රත්නායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධවී කථා කළේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.
තම දියණියගේ හදවතේ සිදුර විෂ්ණු දෙවියන්ගේ බලය ඇති දරුවා සුවපත් කළ බව ප‍්‍රියන්ත මහතා කියා සිටි අතර Echo Cardiogram පර්යේෂණයකට ලක්කර සිදුර වැසී ඇත්ද යන්න සොයා බැලූවේද යන්න වෛද්‍යවරයා විමසා සිටියේය.
ප‍්‍රියන්ත මහතා වෛද්‍යවරයාට පිළිතුරු දෙමින් කියා සිටියේ එවැනි පරීක්ෂණයක් සිදුකරගත්තේ නොමැති බවය.
මෙවැනි රෝගයක් බටහිර වෛද්‍ය විද්‍යාව මගින් සුවපත් කළ හැකි බවත් දේව බලයකින් හෝ අද්භූත බලවේගයකින් කිසිසේත්ම සුවකළ නොහැකි බවත් වෛද්‍ය ජයසූරිය මහතා අවධාරණය කර සිටියේය.
ඒ නිසා මෙවැනි මිථ්‍යා මතවලට නොරැවටී වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමුවී සුවය ලබාගත හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මාදිපොල දිසා රෝහලේ වෛද්‍ය නිර්මලා මහත්මිය ළඟට ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර ලබා ගැනීමට යන බවත් ඇයගෙන් ද මේ ගැන කරුණු කාරණා දැනගත හැකි බවත් සම්පත්ගේ බිරිඳ කියා සිටි නිසා අපි ඇයවද හමුවීමට ගියෙමු.
රජයේ ලියාපදිංචි වෛද්‍යවරියකවන මාදිපොල රෝහලේ නිර්මලා ජයනි මහත්මිය මෙසේ කීවාය.
ඔය ගෙදර අයත් මගෙන් ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර ගන්න එනවා. ඒ නිසා මා ඔවුන් හඳුනනවා. ඒ නිසා මමත් ඔය ගෙදරට ගියා බලන්න. ඒ දරුවාට කිසියම් අසාමාන්‍ය බලයක් තියන බව මටත් පෙනී ගියා. ඔහුට ලෙඩ රෝග සුව කිරීමේ හැකියාවක් තිබෙනවා.
මම විවාහ වෙලා ඉන්නේ ඒත් මට දරුවන් නැහැ. එම දරුවා බැහැ දකින්න ගිය වෙලාවේ ඒ බවත් කිව්වා. ඉහත ආත්මයේ සත්තු මරලා තියන නිසා මේ ආත්මයේ දරුවෝ ලැබුණේ නැහැ කියා ඒ දරුවා මට කිව්වා. යැයි වෛද්‍ය නිර්මලා මහත්මිය පවසන්නීය.
විෂ්ණු දෙවියන්ගේ බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන මේ දරුවාගේ පවුලේ අය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට යන බව මේ කතා වලින් මනාව ඔප්පු වන නිසා මෙය කියවන ජනතාව ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකර බුද්ධිමත්ව සිතා බලන්න යැයි අපි ආරාධනය කර සිටිමු.
මාදිපොල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේ රුචිර සෙනවිරත්න මහතාය. මේ ඔහු මේ සම්බන්ධව අප සමඟ දැක්වූ අදහස්ය.
දේව බලයෙන් ලෙඩ රෝග සුව කරන්න පුළුවන් කියා ඔය දරුවා ගැන මටත් ආරංචි වුණා. මට මේ ගැන දැන ගැනීමට ලැබුණයින් පස්සේ ළමයාගේ ඥාතීන් කිහිපදෙනෙකුට කිව්වා ළමයා කරන දේවල් ගැන පරීක්ෂණයක් කරලා බලන්න අවශ්‍ය බව.
කිසියම් රෝගී තත්ත්වයක් තියන පුද්ගලයන් 10 ක් විතර ඒ අයගේ කැමැත්ත පරිදි මේ දරුවාට යොමුකරලා සුව කරන්න පුළුවන්ද කියා ඒක ගැන විධිමත් හා විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න. එය මගේ අධීක්ෂණය යටතේ කරන්නයි බලාපොරොත්තුව. ඉදිරිපත් කරන 10 දෙනා දැන් සුවය ලබා ඉන්නේ කියා දැනුම්දුන් පසු අපි ඒ 10 දෙනාගේ රෝගී තත්ත්වයන් සුවවෙලාද කියලා පර්යේෂණ මගින් තහවුරු කරගන්න පුළුවනි. එතකොට මෙහි සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට හැකිවෙනවා. නමුත් තවම ඒකට අවස්ථාවක් ලැබුණත් ළමයා ඒ සඳහා ඉදිරිපත් කළේත් නැහැ.
ඔය කියන දරුවා ළඟට බඬේ අමාරුවකට ප‍්‍රතිකාර ගන්න ගිය කෙනෙක් මගේ ළඟට ආවා ප‍්‍රතිකාර ගන්න. අනේ මහත්තයෝ මොන බොරුද මමත් ගියා තමා ඒත් මගේ බඬේ අමාරුව හොඳ වුණේ නැහැ. ඒ හින්දයි මම මේ දොස්තර මහත්තයා හම්බවෙන්න ආවේ. කියලා ඒ අය කිව්වා.
කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතිව මිථ්‍යා මත පසුපස යාම අද සමාජයේ මෝස්තරයක් වෙලා. ජනතාව විචාරශීලීව බුද්ධිමත්ව හා විද්‍යාත්මකව හිතන්න පතන්න පුරුදු කළ යුතුයි. ඒ සඳහා ජන මාධ්‍යවලට ලොකු වගකීමක් පැවරී තිබෙනවා යැයි ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුචිර සෙනවිරත්න මහතා පැවසීය.
විෂ්ණු දෙවියන්ගේ බලමහිමයෙන් ලෙඩ රෝග සුවකරන බව කියන මේ දරුවා ගැන විද්‍යාත්මක ගවේෂණය කිරීමට එක්වූ වෛද්‍ය ජනක ජයසූරිය මහතා අවසානයේ අප සමඟ පැවසුවේ මෙවැනි කතාවකි.
මේ ළමයා තුළින් මට පෙනී ගියේ ඔහුට ඇත්තේ හියුරෝසීය ගණයේ මානසික රෝගී තත්ත්වයක් බවයි. දරුවා කුඩා කාලයේදීම තමන් දිව්‍ය ලෝකයෙන් පැමිණි බව වරින්වර පවසන බව ඒ දරුවාගේ මව්පියන් පැවසුවා. ඒවගේම තමන්ට දේව බලයක් ඇති බවත් පවසන බව ඔවුන් පැවසුවා. ඔවුන්ගේ මේ කථාවෙන් පැහැදිලි වෙනවා මේ දරුවාට මානසික රෝගී තත්ත්වයක් තිබෙන බව. මෙය හීස්ටීජීයා වර්ගයේ මානසික රෝගී තත්ත්වයක්. මෙය ඉතාම පහසුවෙන් සුවකළ හැකි බරපතළ නොවන මානසික රෝගයකි. මනෝ වෛද්‍යවරයකු ළඟට ගිහින් විධිමත් ප‍්‍රතිකාර ලබා දීමෙන් ඔය කියන රෝගී තත්ත්වය ඉතාම ඉක්මනට සුවකරන්න පුළුවනි.
දරුවාගේ ළමා ලෝකය දරුවාට අහිමි කරන්න එපා. මව්පියන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
දේව බලයෙන් අද්භූත බලවේගයකින් හෝ ලෙඩ රෝග සුව කළ හැකි යැයි යමෙක් සලකනවා නම් එය ලොකු මුලාවක්. රෝගයක් සුව කිරීම පහසුයි. රෝගයක් හඳුනා ගැනීම නම් අපහසුයි. රෝගයට හේතුවූ කරුණු කාරණ විශ්ලේෂණය කර ඒ අනුව ප‍්‍රතිකාර කළ යුතුයි. අනෙක හැම රෝගයක්ම කායික රෝග වන්නේ නැහැ. මනස මුල් කරගෙන හටගන්නා රෝගද තිබෙනවා ඒවාට Psysyco Smoatic කියලා වෛද්‍ය විද්‍යාවේදී අප හඳුන්වනවා යැයිද වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

නිවෙස
පොල්ගොල්ලේ මංගල හිමි
වෛද්‍ය ජනක ජයසූරිය
වෛද්‍ය නිර්මලා ජයනි
වෛද්‍ය රුචිර සෙනවිරත්න

No comments:

Post a Comment